“පිරිහෙන ජන සමාජයකට ශිෂ්ටත්වයේ ආදරණීය පණිවිඩය කියා දිය හැකි ආකර්ෂණීයම කලා මාධ්‍යය රූප නාද අර්ථ සෞන්දර්යයෙන් පිරිපුන් සිනමාවයි” සංගීතවේදී දර්ශන රුවන් දිසානායක විසින් දිගුකාලීන ඛේදවාචකයක් අපූර්ව ලෙස මිනිස් සන්තානය සංවේදී කරමින් දිග හරින සිනමා කාව්‍යය පෙබරවාරි මසදී ලංකාව පුරා සිනමා ශාලාවල දිග හැරීමට නියමිතය. මේ කතාබහ father the farmer (ගොවි තාත්තා) සිනමාපටයේ අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක සමඟිනි.
ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හිතුවේ ඇයි ?
මගේ කලා දිවියේ හැම එකක්ම ඇක්සිඩන්ට් එකක්. මම චිත්‍රපට අධ්‍යක්ෂණයට එන්න හීනෙන්වත් හිතුවේ නෑ. මම බොහෝ කාලයක් නිරත වෙලා හිටියේ චිත්‍රපට සංගීතය හා ටෙලි නාට්‍ය සංගීතයත් එක්කයි. සමනල සංධ්වනියේ පටන් මේ වන විට මම චිත්‍රපට 16ක සංගීතය සපයලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය 36ක සංගීත අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කරලා තියෙනවා. ලෝකයේ තවත් සිනමා සංගීත අධ්‍යක්ෂවරුන් වන හැන්සි, ඒ. ආර්. රහුමාන් වගේ අය සිනමාව තුළ කරලා තියෙන දෙය අපිට කරන්න බැරි ඇයි කියලා මම හිතුවා. ශ්‍රී ලංකාවේ සියලු දේවල් කරන්නේ අපි ලාංකේය කියන කොටුවේ ඉඳගෙනයි. නමුත් නිදහසක් තිබිය යුතුයි. “සමනල සංධ්වනිය” කරනකොට ජයන්ත චන්ද්‍රසිරි මට ඒ නිදහස දුන්නා. නමුත් අනෙක් බොහෝ නිර්මාණවලදී මම ඒ නිදහස සොයාගන්නේ බලෙන්. එහෙම නැත්නම් වාද විවාද ගොඩක් කරලයි. ඒ නිදහස සොයාගෙන යන මට හිතුණා චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්න ඕනෑ කියලා. මම ඉස්සෙල්ලම කළේ තිර පිටපත ලියන එකයි. ඊට පස්සේ මම ඒක අරන් අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක් ළඟට ගියා. ඒ කිසි කෙනෙක් ඒකට එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ. මේ කාලයේ සරත් බණ්ඩාර කොක්වැව කියන ගොවි ඉංජිනේරු මහත්මයා ටෙලි නාට්‍යයක සංගීතය වෙනුවෙන් මං ළඟට ආවා. සංගීතයෙන් මම ඒ ටෙලි නාට්‍යය ගොඩදාලා දුන්නා. ඒ හිතවත්කම නිසා මේ චිත්‍රපටය ගැනත් අපි කතා කළා. එයා මට යෝජනා කළා ඔයා මේක අධ්‍යක්ෂණය කරන්න කියලා. ඉතින් මං මේ වැඩේට බැස්සා.
සමනල සංධ්වනිය සිනමාපටය සම්මාන ගොඩක් ගත්තා. ඇතැම් සිනමා අධ්‍යක්ෂවරුන් මට චෝදනා කළා, දර්ශන හදන්නේ සම්මාන ගන්න කියලා. සමහර අයට ඕනේ අධ්‍යක්ෂවරයාට විතරක් සම්මාන ගන්නයි. සමහර සිනමා අධ්‍යක්ෂවරු සම්මාන උළෙලවලට මගේ නම දීලත් නෑ. සමහරු මට චිත්‍රපට නොදෙන්නත් ගත්තා. මේ සියල්ලටම උත්තරේ තමා father the farmer. (ගොවි තාත්තා)
ඔබේ father the farmer (ගොවි තාත්තා) සිනමා සිත්තම වෙනුවෙන් ගොවියා සහ ගොවිකම තේමාව තෝරා ගත්තේ ඇයි ?
රූප නාද අර්ථ සෞන්දර්යයෙන් පිරිපුන් කලා කෘතිය සිනමාව බව මම දැඩිව විශ්වාස කරනවා. ඒ අනුව තමයි මං මගේ සිනමා නිර්මාණ කරන්නේ. Father the farmer (ගොවි තාත්තා ) එහෙම එකක්.
ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්න ඕන නිසයි මම මේකට father the farmer නම යෙදුවේ. අද ලෝකේ ඉන්න බුද්ධිමත් කලාකරුවෝ බොහෝ දෙනෙක් කතාබහට ලක් කරන්නේ මගේ ලෝකය කියලයි. එහිදී පාරිසරික ප්‍රශ්න, මහ පොළොව සම්බන්ධ නිර්මාණවලට අපට වගකීමක් තියෙනවා. මටත් මහ පොළොව සහ පරිසරය ගැන ආදරයක් ඇති වුණා.
මෙහි එන කතා වස්තුව ගැන ඔබට යම් අදහසක් ඇති?
එක සුන්දර ගම්මානයක මේ මහ පොළොවට හැබෑවටම ආදරය කරන එක් ශ්‍රේෂ්ඨ ගොවි මිනිසෙක් සිටියා. කුඹුර, පැළ, ඇළ, දොළ, මහ පොළොව, තම ජීවිතය කරගත් මේ මිනිසා කවියට, ගීතයට අතිශය සංවේදී චරිතයක් වුණා. ඒ වගේම මේ ආදරණීය චරිතය මිනිසුන් අතර ඉතාමත් ජනප්‍රියත් වුණා. ඒ වගේම විවෘත ආර්ථික සමාජ පෙරළියත් එක්ක, වස විස මහ පොළොවට කිඳා බහිද්දී, මානව හිතවාදී කෘෂි ආර්ථික සමාජ සංස්කෘතියත් බිඳ වැටෙන්නට පටන් ගත්තා. ඊට එරෙහිව මේ ශ්‍රේෂ්ඨ ගොවි මහතා සටන් කළා. එයා බලය හිමි පාලකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වන අභීත සටන් සගයෙකුත් වුණා. වස විසින් පිරුණු පොළොව, විවෘත ආර්ථිකය නිසා උඩුගම් බලා ගිය මානව, සංස්කෘතික, චර්යා හර පද්ධතිය, ඒ වගේම වියළී ගිය පොළොවට ආදරය වපුරන්න උත්සාහ කළ ඒ ආදරණීය සෙනෙහෙවන්තයාගේ කතන්දරය තමයි දිගහැරෙන්නේ. එයා වෙන කවුරුත් නෙවෙයි, එයා මගේ තාත්තා.
ඔබ මෙයින් කියන්න උත්සාහ කරන්නේ සමාජයට කිසියම් පණිවිඩයක් ද?
ඇත්තටම ඔව්. මම මෙයින් පණිවිඩයක් දෙන්නයි උත්සාහ කරන්නේ. ආදරය අහිමි පොළොවට ආදරය දෙන්න. ඒ කියන්නේ මෙයින් කියවෙන්නේ ආදරේ ගැනයි. ආදරය ගැන ගත්තොත්, මෙහි විවිධ දිශානතිවලට යොමු වෙනවා. එහිදී පළවෙනි දේ තමයි මහ පොළොවට, පරිසරයට තියෙන ආදරය. ඊළඟ කාරණය තමයි, මිනිස්සුන්ට සහ සතා සිවුපාවට තියෙන ආදරය. මෙයින් මම මූලිකව කියන්නෙ මේ සමාජ සංස්ථාවට ආදරය කියන පණිවිඩය දෙන්නයි. මම ඒ පණිවිඩය දෙන්නට නොයෙක් සංඥා හා සංකේත යොදා ගත්තා. සංගීත යොදා ගත්තා. පඹයා තමයි. මෙහි ප්‍රධානම චරිතය. අනාගතයේ දරුවන්ට මුහුණ දෙන්ට තියෙන ඛේදවාචකය, දරුවන් වෙනුවෙන් වැඩිහිටියෙක් කියන පණිවිඩයක් මේක. මේ පඹයාගේ ඊළඟ ගොදුර වෙන්නේ දරුවෝ.
ඔබේ සිනමාවේ සංගීතය සුවිශේෂයි. ?
මෙහි සංගීතය සම්බන්ධයෙන් හොඳම කමෙන්ට් එක ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් මට උපරිම සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මගේ ඉදිරි සිනමා කටයුතු සඳහා සහයෝගයක් දෙනවා. ඒ වගේම මේ වනවිට රටවල් ගණනාවක චිත්‍රපටය ප්‍රදර්ශනයට දොර ඇරෙනවා. පළමු ඌනපූර්ණය මම සපයා ගත්තා. මගේ ඊළඟ චිත්‍රපටය දමිළ එකක්. “පූජියම්”. එහි අදහස ශුන්‍යයි කියන එකයි. ශ්‍රී ලංකාවේ දමිළ සිනමා කර්මාන්තයක් දකින්න නම්, දමිළ සිනමාව ගැන අවධානය යොමු කළ යුතුයි. එහෙම වුණොත් සංහිඳියාවේ පණිවිඩයත් මීට වඩා අර්ථවත් වේවි. ඇටමිදුළු තුළට මේ පණිවිඩය යාවි. එහෙම වුණොත් දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයට පවා ඒක අභියෝගයක් වේවි. ඒ නිසා අපේ සිනමා කර්මාන්තය ගැන වඩා බුද්ධිමත්ව අවධානය යොමු කරනවා නම් ඒක ඉතා අගය කළයුතු වෙනවා.
ඔබට මුහුණදෙන්නට සිද්ධ වුණු අභියෝගත් ඇති?
සෙට් එකට ගියාට පස්සේ, පළවෙනි දවස් පහ තුළ ඉඳලම මුහුණදෙන්න සිද්ධ වුණේ අභියෝගම තමයි. නොයෙක් විදිහේ ප්‍රශ්න ආවා. මම සිනමාව හැදෑරුවේ ලෝකෙට අනුවයි. නමුත් ලංකාවේ සෙට් එකට ගියාට පස්සේ ඒක වෙනස්. නොයෙකුත් කතාන්දර එක්ක ගැටුණා. සමහර රූප රාමු වෙනුවෙන් වරු ගණන් ගත කළා. කෝකටත් මට සූදානම් ශරීරයක් තිබුණා. ඒ නිසා ඒ සියලු අභියෝග මම ජය ගත්තා.
ගොවි තාත්තාට ලැබූ ජාත්‍යන්තර හැඟීම් ගැන කතා කරමු?
විශේෂයෙන්ම බෝඩ්න් සහ ස්වීඩන් සිනමා උලෙළවලදී චිත්‍රපට 49කින් හොඳම කාලීන චිත්‍රපටය බවට පත්වුණා. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළියට හිමි සම්මානත් ලැබුණා. ඒ විතරක් නෙමෙයි තුර්කිය, අමෙරිකාව වැනි රටවල්වලින් සම්මාන 09කුත් ලැබුවා. සෙන්සර් බෝඩ් එකෙනුත් අපිට උපරිම ලකුණු ලැබුණා.
ඔබේ සහායක මඬුල්ල මතක් කරමු?
සරත් බණ්ඩාර කොක්වැව මහතා තමයි මෙහි නිෂ්පාදකවරයා. ඔහුගේ ඒකායන ප්‍රාර්ථනයත් වුණේ වස විසෙන් තොර දයාබරිත රන් පොළොවක සිහිනය දේශීය කෘෂි සංස්කෘතිය තුළ යථාර්ථයක් කිරීමයි. ජගත් චමිල, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, සනත් චන්ද්‍රසේකර, සනත් විමලසිරි, දිමුතු චින්තක, එරික් මදනායක, ගාමිණී ජයලත්, ප්‍රසන්න දිසානායක, නදීෂා රංගනී යනාදී නළු නිළියන් රැසක් ද ළමා නළු නිළි කැල, සෙසු රංගන ශිල්පීන්, තිර පිටපතේ සිට සහය අධ්‍යක්ෂණය, නර්තන වින්‍යාස, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරා අධ්‍යක්ෂණය, හඬ කැවීම් ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන් යනාදී සෑම අයෙකුම ලබා දුන් සහයෝගය මම ඉතා අගය කරනවා.