ලෝක සිනමා ඉතිහාසය තුළ නවකතා ඇසුරින් බිහිවූ සිනමා කෘති සඳහා නිදර්ශන ඕනෑතරම් අපට හමුවී තිබේ. විශේෂයෙන් ලාංකේය සිනමාවේ අදියුරු සිනමාකරුවකු වූ ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සිනමාව මුළුමනින්ම පාහේ සැකසී තිබෙන්නේ නවකතා ආශ්‍රිතවයි. ඊට විරාගය, කලියුගය, යුගාන්තය, නිධානය, අවරගිර, බැද්දේගම, ගම්පෙරළිය ආදී නිදර්ශන වෙයි. නවකතාවකින් චිත්‍රපටයක් තැනීම සිනමාකරුවකුට සැමවිටම අභියෝගකාරි තත්ත්වයක් නිර්මාණය කරන්නේ නිරායාසයෙන්මයි. එම කර්තව්‍යය හරියට නිකං දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩක් විය හැකි තරමට බැරෑරුම් ය. නමුත් නවකතාව සහ චිත්‍රපටය යනු කාරණා දෙකකි. නවකතාව සහ ඒ ආශ්‍රිත චිත්‍රපටය යනු අහසට පොළොව මෙනි. නවකතාවේ මාධ්‍යය වනුයේ අකුරු, වචන මඟින් කරනු ලබන සාහිත්‍යමය ආඛ්‍යානයකි. චිත්‍රපටයේ ප්‍රධාන මාධ්‍යය රූපයයි. තිර රචනය සාහිත්‍යමය ලියවිල්ලක් වුව ද එය රූප සමුදායකින් සිනමාපටයක් දක්වා ගෙන ඒම සිදු කරයි. ඒ කෙසේ වෙතත් සිනමා කෘතියක් ආශ්‍රය කරගෙන තැනුණු නවකතාවට සාධාරණත්වයක් සිදුවී ඇත්ද? යැයි සෙවීම මුග්ධ බවකි. ප්‍රේක්ෂකයා සිනමාශාලාවට යන්නේ තමන් දැනටමත් දන්නා කතාව සිනමාකරුවා කෙසේ සිනමාවට නඟා ඇද්දැයි බැලීමටයි. අනෙක් අතට නවකතාවකින් සිනමා කෘතියක් බිහිවූ පසු එයින් නවකතාව සෙවීම ද අනුවණකමකි. නමුත් සිනමා කෘතිය, නවකතාව අභිභවා ගිය සිනමා භාවිතාවකින් පෝෂණය වී ඇත්නම් කාටත් සතුටු විය හැකිය. මා ‘ගුරු ගීතය’ සිංහල චිත්‍රපටය නරඹනුයේ ඒ ආශ්‍රිත නවකතාව හැකිතාක් ඇතින් තබමිනි.
වර්ෂ 1962 වසරේ රුසියානු ශ්‍රේෂ්ඨ ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචනා කළ ‘The first teacher’ කෘතිය ලෝක පාඨක ප්‍රජාව වෙත වැදගත් නවකතාවක් ලෙස සලකුණු වෙයි. එය සිංහලයට පරිවර්තනය වූයේ ‘ගුරු ගීතය’ නමිනි. ‘ගුරු ගීතය’ නවකතාව මෙරට පාඨකයන් වේගයෙන් වැලඳගත් කෙටි නවකතාවක් ලෙස ශ්‍රී ලංකාවේ පරිවර්තන කෘති අතර වඩාත් උත්කර්ෂයට නැංවූ දැඩි රොමාන්තිකරණයට ලක් වූ වෙනත් පරිවර්තන කෘතියක් නොමැති තරම් ය. ‘ගුරු ගීතය’ නවකතාව ඇසුරින් උපාලි ගම්ලත් නම් සිනමාකරුවා විසින් ‘ගුරු ගීතය’ වෘතාන්තමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට අරමුණු වන්නට ඇත්තේ නවකතාවට තිබූ දැඩි අනුරාගී බවත් නවකතාට ආදරය කරන පාඨකයා වෙනුවෙනුත් විය හැකිය.
‘ගුරු ගීතය’ සිනමාත්මක බවින් පොහොසත් චිත්‍රපටයකි. නෙතට ප්‍රිය රූප මවන චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ පරමාදර්ශී තරුණ ගුරුවරයකුගේ භූමිකාව පිළිබඳවයි. ඔහු නමින් ‘දුයිෂෙන්’ය. හේ සෝවියට් සමූහාණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්ට් වාදියෙකි. 1920 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව යටතේ පිහිටි කිර්ගීස්ථානයේ අතිශය දුෂ්කර ගම්බද පෙදෙසක් වන අයිලයේ දුප්පත් දරු දැරියන්ට උගන්වන්නට ‘දුයිෂෙන්’ නම් තරුණ ගුරුවරයාගේ ආගමනය සිදු වෙයි. මෙම අයිලයේ වෙසෙන ‘අල්තීනායි’ නම් මවුපියන් අහිමි වූ දැරිය වෙත දුයිෂෙන් සම්මුඛ වෙයි. දුයිෂෙන් විසින් ‘අල්තීනායි’ ලැබිය යුතු අධ්‍යාපනික වරප්‍රසාදය වෙනුවෙන් පෙනී සිටියි. දුයිෂෙන්ට අල්තීනායි කෙරෙහි අප්‍රකාශිත ප්‍රේමයක් ද තිබේ. ‘අල්තීනායි’ හැදී වැඩෙන දුෂ්ට නැන්දා සමඟ ගැටුම් ඇති කර ගනියි. මේ නිසාම දුයිෂෙන් උත්තරීතර ගුරුවරයකු ලෙස අල්තීනායිට අයිලයෙන් ඔබ්බට පිහිටි අලුත් ලෝකයක් විවර කර දෙන්නට දරන වෑයම ‘ගුරු ගීතය’ කතා වෘතාන්තය මත දිග හැරෙයි.
සාකච්ඡාවට ලක්විය යුතු අංශ කිහිපයක් චිත්‍රපටය සමඟ සක්‍රිය ලෙස ගනුදෙනු කරන ප්‍රේක්ෂකයාට තිබෙන බව පෙනේ. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය හෙම්බත් කරන රජ කතා, බණ කතාවලින් වෙනස් වූ රොමාන්තික – නාට්‍යමය ශානරයේ චිත්‍රපටයක් ලෙස ‘ගුරු ගීතය’ සිනමා ප්‍රේක්ෂකයා කුල්මත් කරවන සුලු මට්ටමේ සිනමා චාරිකාවකි. ‘දුයිෂෙන්’ ලෙස සම්මානනීය නළු රොෂාන් රවීන්ද්‍රගේ නිරූපණය පැසසුමට ලක්විය යුතු රංගනයකි. සිනමා ප්‍රේක්ෂකාගාරයේ දැඩි අවධානයක් දිනාගන්නා චරිතය බවට පත් වන්නේ රොෂාන් රවින්ද්‍රගේ ආකර්ෂණීය රංගනයයි. රොෂාන් මුහුණේ සියුම් ඉංගිත, ඔහුටම ආවේණික කථන විලාසය මඟින් ‘දුයිෂෙන්’ චරිතය පණගැන්වෙයි. රොෂාන් රවින්ද්‍රගේ මුහුණේ ඉරියව් පාලනය සහ ඔහුගේ හඬ හැසිරවීම තුළ ප්‍රතිභාව මෙහිදී ප්‍රකට කරයි. සිනමාවට ආධුනික කල්පනී ජයසිංහ විසින් රඟන “අල්තීනායි” චරිතය එතරම් සිත්ගන්නා සුලු එකක් බවට පත් නොවේ. විශේෂයෙන් සෙසු නළු නිළියන්ගේ චරිත හැසිරවීම වේදිකා නාට්‍යමය බවක් දිස්වෙයි. “වසන්තය යළිත් එනවාමයි” යන ගීතය කිහිප විටකදීම චිත්‍රපටය පුරා භාවිතා කිරීමෙන් නවකතාවට ආවේණික විලාසය ඉස්මතු කරවයි.
චිත්‍රපටය පුරාවටම ආනුෂාංගික අංග දෙස බැලීමේදි වැදගත් නිරික්ෂණ කිහිපයක් තිබේ. ‘මිසොන් සෙන් (mise en scene)’ හෙවත් දර්ශනය (Scene) තුළ තත්ත්වයන් මනා ලෙස සකස් කිරීම චිත්‍රපටයේ එන වැදගත් සාධකයකි. කෘතියේ කියැවෙන 1920 දශකයේ සෝවියට් සමාජවාදී යුගය සහ සමාජ තත්ත්වය නිරූපණය කරන ඇඳුම් පැලඳුම්, රංග භාණ්ඩ, වේෂ නිරූපණය ආදී සියල්ලම කෘතියේ කතාවට අදාළව විශ්වසනීයත්වය තහවුරු කිරීම වැදගත් කර්තව්‍යයකි. එය කලා අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය තුළ අයිලය හෙවත් ගම්මානය ආශ්‍රිත පසුතල ඉදිරිකිරීම යන අංශය කැපීපෙනෙන්නකි. චිත්‍රපටයේ ප්‍රමුඛ මත රූප විසින් ගොඩනඟන අසිරිමත් බවත් සංස්කරණය විසින් ඇති කරන රිද්මයත් චිත්‍රපටය අවසානය වනතෙක් ප්‍රේක්ෂකයා සිනමාහලේ රඳවා ගැනීමට සමත්කම් වෙයි.

අධ්‍යක්ෂ උපාලි ගම්ලත්
සිනමා කෘතියේ වඩාත් ඉස්මතු වී පෙනෙන අංශය වනුයේ සිනමාත්මක රූප ගොනුවයි. කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කාවින්ද රණවීරගේ කැමරා ඇස හිමාලයේ හිම පිරි කඳු පන්තිවල සහ පරිසරයේ විචිත්‍ර බවට පමණක් හැරවීමට වඩා ඉන් ඔබ්බට ගොස් චරිතවල ගතික බව තීව්‍ර කිරීමට වැඩි අවධානයක් ලබා දුන්නා නම් චිත්‍රපටයට මීට වඩා වටිනාකමක් ලැබෙනු ඇති බවයි විශ්වාසයයි. වැඩිමනක් චිත්‍රපටයේ දුර රූප සහ මධ්‍යම රූප නිර්මාණයේ නිරත වී ඇති බව නිරීක්ෂණය වෙයි. පරිසර වර්ණනාවලින් ගහන ‘ගුරු ගීතය’ කෘතිය තුළින් පරිසර සෞන්දර්ය ඉක්මවිය යුතු හරවත් සමාජ ප්‍රකාශනය පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ අවධානයට ලක් වී ඇත. නවකතාවේ විස්තර වන ශීත දේශගුණික තත්ත්වයෙන් තැවරී ගිය පරිසර පද්ධතිය සමඟ ගැටගැසුණු සමාජ පද්ධතියෙහි ඇති අධ්‍යාපනික අර්බුදය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවට ද කාලෝචිත වන සේ ප්‍රතිනිර්මාණය කිරීමට දරා ඇති වෑයම එක් පසෙකික් අගය කළ යුතු ය. සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ලෙලුම් රත්නායක නිමවා ඇති පසුබිම් සංගීතය මඟින් චරිත සහ සිදුවීමි තීව්‍ර කිරීමට ලැබෙන සහාය ප්‍රමාණවත් නැත. රූපය සහ චරිත ශක්තිමත් කිරීමට පසුබිම් සංගීතය තවදුරටත් උපක්‍රමයක් ලෙස භාවිත කරන්නට තිබුණි. පසුබිම් සංගීතය ප්‍රබල උපක්‍රමයක් ලෙස භාවිත කළ ‘ගුරු ගීතය’ වැනි තේමාවක් සහිත ෂැන්ග් ඉමෝ අධ්‍යක්ෂණය කළ ‘The Road Home’ නමැති චීන චිත්‍රපටයක් මෙහිදී මතකයට නැංවෙයි. කෙසේ වෙතත් කෘතියේ මතුපිට හැඩතල ස්පර්ශ කිරීමකට පමණක් සීමා නොවූවා නම්, උපාලි ගම්ලත් විසින් හරවත් සමාජ ප්‍රකාශනයක් ලෙස ‘ගුරු ගීතය’ සාර්ථක සිනමා ව්‍යායාමයකට වඩා අති සාර්ථක චිත්‍රපටයක් වන්නට ඉඩකඩ තිබුණි.
නවකතාවේ එන “ ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.
ඒත්, වසන්තය එනවා සත්තයි.” යන උද්ධෘත පාඨය වෙත ලොබ බඳින පරම්පරා ගණනාවක් සහ ශ්‍රී ලංකාවේ වැඩිම අවධානයට ලක් වූ ‘ගුරු ගීතය’ වැනි නවකතාවක් සිංහල චිත්‍රපටයක් ලෙස වැලඳගන්නට සිනමාශාලා වෙත පැමිණෙන්නට දක්වන මැළිකමට හේතුව කුමක්ද? යන්න ඉතා ප්‍රවේසම් සහගතව විමසා බැලිය යුතු කාරණයකි. ‘ගුරු ගීතය’ මහත් වෙහෙසක් දරා නිම කළ සිනමාපටයකි. ‘ගුරු ගීතය’ සිනමා ප්‍රකාශනය හරහා උපාලි ගම්ලත් අපට සම්මුඛ වන්නේ සිනමාලංකාරයත්, සිනමා භාෂාවත් පිළිබඳ තියුණු අවබෝධයකින් හෙබි සිනමාවේදියකු ලෙසිනි. ඔහු තම චිත්‍රපටයට අවංක වූ සිනමාකරුවකු ලෙස කර්මාන්තය තුළ ආරක්ෂා කර ගැනීම ප්‍රේක්ෂකයන්ගේ කර්තව්‍යයක් වන්නේ ඒ නිසා ය.
ඉමල්ක විතානගේ