Sunday, May 11, 2025
Home » කොල්ලකරුවෙක් නිවෙසට පැන සයිෆ් අලිඛාන්ගේ 6 පොළකට පිහියෙන් අනී

කොල්ලකරුවෙක් නිවෙසට පැන සයිෆ් අලිඛාන්ගේ 6 පොළකට පිහියෙන් අනී

රෝහල්ගත කළ බොලිවුඩ් නළුවාට හදිසි සැත්කමක්

by mahesh
January 17, 2025 1:00 am 0 comment

සුප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන් පිහි ඇනුමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නි‍ෙවසට අනවසරයෙන් ඇතුළු වූ කොල්ලකරුවකු විසින් එම පිහි ඇනුම සිදු කරනු ලැබූ බවත්, ඔහුගේ සිරුරේ ස්ථාන 6කට පිහි ප්‍රහාර එල්ල වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ වන විට ඔහු මුම්බායි නුවර ලීලාවති රෝහලට ඇතුළත් කර ඇති අතර, සැත්කමක් ද සිදු කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. පිහි ඇනුමෙන් ඔහුගේ සිරුරේ ස්ථාන දෙකක ගැඹුරු තුවාල සිදුවී ඇතැයිද, එක් පිහි ප්‍රහාරයක් ඔහුගේ කොඳු ඇටපෙළ දක්වා කිඳා බැස ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ඔහුගේ කොඳු ඇටපෙළේ ඇනී තිබූ පිහියෙන් කැඩී ගිය අඟල් දෙකක පමණ කොටසක් සැත්කමකින් ඉවත් කළ බව එහි වෛද්‍යවරයකු සඳහන් කර තිබේ. එම පිහි ප්‍රහාරයෙන් නිවෙසේ සේවිකාවද සුළු තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

මහල් 12කින් සමන්විත එම නිවාස සංකීර්ණයේ පිහිටි සයිෆ් අලිඛාන්ගේ නිවෙසට ඊයේ අලුයම 2.30ට පමණ කොල්ලකරු ඇතුළුවනවිට සයිෆ් අලි ඛාන්, ඔහුගේ බිරිය ජනප්‍රිය නිලි කරීනා කපූර් සහ පුතුන් දෙදෙනා නින්දේ පසුවූ බව වාර්තා වේ. ඒ මොහොතේ කොල්ලකරු දැක බියට පත්වූ සේවිකාවකගේ කෑ ගැසීමත් සමඟ එම ස්ථානයට දිව ආ සයිෆ් අලිඛාන් ඔහු සමඟ පොර බැඳ ඇති අතර, කොල්ලකරු පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම අවස්ථාවේදී බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

එම සිදුවීමෙන් පසු කොල්ලකරු නිවෙසින් පලා ගොස් ඇති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට මුම්බායි පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT