කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දූපත් සමූහය අතරින් සුන්දරම දූපත වන්නේ බත්තලංගුණ්ඩුවයි. දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් එම දූපතට යන්නේ එහි සුන්දරත්වය විඳගැනීමටයි. කෙසේ වෙතත් එහි වෙසෙන දූපත්වාසීන්ගේ ජීවිත නම් සුන්දර නැති බව ඔවුන් සමඟ ගත කළ හෝරා කිහිපයේදී මනාව පැහැදිලි විය.
මුහුදින් හා කලපුවෙන් වටවු බත්තලංගුණ්ඩුව අපූරුතම නිර්මාණයකි.එතරම් එහි මනස්කාන්ත බව එහි දිනක් දෙකක් ගත කිරීමට යන සංචාරකයන්ට මනා සුන්දරත්වයකි.
නමුත් මේ දූපතේ වාසය කරන දූපත්වාසීන්ට මේ දුපතේ ගත කරන්නේ බරපතළ ප්‍රශ්න රැසක් මැද ගිනියම් කතරක දිවි ගෙවන මිනිසුන් මෙනි.
මේ දූපත්වාසීන්ගේ ප්‍රධාන ජීවිකාව වන්නේ ධීවර කර්මාන්තයයි.මේ දූපත්වාසීන්ට හිමි මූලික අවශ්‍යතා රැසක් අහිමි වී එහි දිවි ගෙවන ජනතාව අද දවසේ පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකය. කල්පිටිය ධීවර වරායේ සිට පැය කිහිපයක මුහුදු ගමනකින් පසු සැතපුම් තිස්අටක දුරකින් පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතට ළඟා විය හැකිය.
බත්තලංගුණ්ඩුව දූපත්වාසීන්ගේ උපන් ගම්බිම් මීගමුව, වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශයි. එහි වෙසෙන සියල්ලෝම සංක්‍රමික ධීවරයන්ය.
දූපත්වාසීන්ගේ අවශ්‍යතා සඳහා සියලු සැපයුම් කරන්නේ මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රා මගින්ය. පවුල් හාරසියකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන මේ දූපත්වාසීන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ මිනිසාගේ ජීවිකාව පවත්වා ගැනීමට අවශ්‍ය මූලිකම අවශ්‍යතාව වන ජලයයි.
ඔවුන් පානීය ජලය සපයා ගන්නේ දූපතේ බිම්කඩක වළවල් හාරා ඒවායෙන් ලබා ගන්නා ජලයෙනි. පෙරා ගන්නා මේ ජලය උණුකර නිවා බීමට ගන්නා බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් මේ ජලය භාවිත කිරීමේදී ඇතැම්විට සෞඛ්‍ය ප්‍රශ්න ද ඇති වන බව ද ඔවුහු පෙන්වා දෙති. වෙනත් අවශ්‍යතා, ස්නානය කිරීම ඇතුළු දෛනික සියලු කටයුතු සිදු කරන්නේ ද මෙවැනි වළවල් හාරා ගන්නා වූ ජලයෙනි. දූපත්වාසීන්ගේ තවත් ගැටලුවක් වන්නේ විදුලි සැපයුමයි. විදුලිය නැතිවීමෙන් ඔවුහු විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති. යමක්කමක් ඇති සුළු පිරිසක් සෝලා භාවිතයෙන් විදුලිය සපයා ගනියි.
බෝට්ටු මගින් නිවෙස්වලට ගොස් ආපසු පැමිණීමට එක් අයකුට වරකට රුපියල් 2500ක පමණ මුදලක් වැය වන බව කියයි. මේ අනුව දුර ප්‍රදේශවල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලට ගොස් නැවත දූපතට පැමිණීමට රුපියල් 3000කට අධික මුදලක් වැය වන බව ද ඔවුහු පෙන්වා දෙති. මෙවන් දුෂ්කරතා මැද දිවි ගෙවන ඔවුන්ගේ පවතින ගැටලුවලට කිසිම රජයක් විසඳුම් ලබාදීමට කටයුතු කර නැති බව ඔවුහු පවසති. මීට වසර ගණනාවකට පෙර ආරක්ෂක අංශ මැදිහත් වී පවත්වාගෙනගිය පාසල ද වැසී ගොස් දිගු කලක්ය. හලාවත අගරදගුරු දේවස්ථානය මැදිහත්ව දරුවන් අධ්‍යාපනයට යොමු කර ඇති බව මවුපියෝ කියති.
එහෙත් ඇතැම් පවුල්වල දුවා දරුවන්ට අධ්‍යාපනය අහිමිව ඇත්තේ පවතින ආර්ථීක අපහසුකම් නිසාවෙනි. හදිසි අවස්ථාවකදී ඔවුනට ප්‍රතිකාර ලබා ගැනීමට ද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නැත. බොහෝ අවස්ථාවල ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදාව මැදිහත් වී එම කටයුත්ත සිදුකරයි.
සිය ධීවර කටයුතු ද පවත්වාගෙන යන්නේ ද ගැටලු රැසක් මධ්‍යයේ බව ද ධීවරයෝ පවසති. ධීවර සහනාධාරය හිමිවූවත් විශේෂයෙන් දැල් ආම්පන්නවල මිල ඉතාම අධික බවත් පෙන්වා දෙමින් ඔවුන් පවසන්නේ තහනම් දැල් භාවිතයෙන් මත්ස්‍ය සම්පත නෙළා ගැනීමෙන් මත්ස්‍ය පැටව් විනාශ වී යන බවය. මෙවන් ගැටලු රැසක් මැද ජීවත්වන ඔවුනට යම් සහනයක් වන්නේ නාවික හමුදාවෙන් ලබාදෙන සහයෝගය බව ඔවුහු පවසති.
මෙවර පැවති ජනාධිපතිවරණයට ද ඔවුන්ට ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණීමට සිදුවූයේ තම වියදමින් ධීවර යාත්‍රාවලින්ය. මෙවර ජනාධිපතිවරණයේදී ඔවුනට පැමිණීමට එක් බෝට්ටුවක ගමන් වාරයකට රුපියල් 8000 ආසන්න මුදලක් වැය වූ බව ද කියති.
ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශාල ප්‍රමාණයේ යාත්‍රා යොදා ඇති අතර එක් ගමන් වාරයකට රුපියල් 1500ක් පමණ වැය වේ. බඩුබාහිර ආදිය රැගෙන එන්නේ ද එම යාත්‍රා මගිනි. ඒවා මිලදී ගැනීමේදී වැඩි මුදලක් ද වැය වන බව ද ඔවුහු පෙන්වා දෙති. මෙවන් ගැටලු සමූහයක් මැද ජීවත් වෙන මේ දූපත්වාසීන්ට අන් අයට මෙන් සම අයිතියක් ලැබෙන්නේ කවදා ද? ඔවුහු නෙත් අයා බලා සිටිති. තම අසරණකම මෙලෙස ඔවුහු පවසන්නට වූහ.
ඈන් නිරෝෂා මහත්මිය –
“අපට තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක්. එයින් එකක් තමා වතුර සපයා ගන්නා හැටි අපි හරි දුකක් විඳින්නේ. අපි ඉන්න තැනින් කිලෝමීටරයක් විතර දුරකට ගිහින් වළවල් හාරලා වතුර ගේන්නේ. ඒ වතුර බීපුවහම සමහර වේලාවට එක එක ලෙඩ හැදෙනවා. කල්පිටියේ සිට බෝට්ටු මගින් රැගෙන එන ජලය මිලදී ගැනීමට හැකියාවක් නෑ අපට. බැරල් එකක් රුපියල් 800යි. ලීටර් පහේ කෑන් එකක් රුපියල් 200යි. මේ ගැටලුවට ජනාධිපතිවරයා අවධානය යොමු කර විසඳුමක් ලබා දෙයි කියා අපි හිතනවා.”
සුදර්ශනී මල්ලිකා මහත්මිය –
“මගේ ගම මීගමුව. මම මේ දූපතේ ඉන්නේ අවුරුදු තිහක ඉඳන්. එදා ඉඳන් මේ ගැටලු බලන්න ආණ්ඩුවල මැති ඇමැතිවරුන් ආවා. අපේ දුක අහලා හරි දුකින් ඒ ගොල්ලො මෙහෙන් පිටත් වෙන්නේ. හැබැයි ගියදා ඉඳන් කිසිම පිළිතුරක් නෑ. මේවා බොරු පොරොන්දු . අපි ඒවා අහල හෙම්බත්වෙලා ඉන්නේ. අඩුගානේ හොඳ වතුර උගුරක් බීගන්න බැරිව මොන දුකක් ද අපි විඳින්නේ? අපි හිතනවා මේ රජය අපි ගැන බලලා යමක් කරයි කියලා.”
අජිත් ප්‍රනාන්දු බත්තලංගුණ්ඩුව ධීවරයෙකි. මේ ඔහුගේ හඬයි.
“විදුලිය නැතිව අපි අඳුරේ ඉන්නේ. අපි දන්නවා ප්‍රධාන විදුලිය අපට දෙන්න අමාරුයි කියලා. නමුත් ඒ ගැන සුළු කොට නොතකා දූපතට එන්න පුළුවන් ආකාරයට විදුලිය දෙන්න හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ දේශපාලනඥයන්, නිලධාරීන් ඇවිත් විදුලිය දෙන්න කටයුතු කරනවා කීවා. මේ වගේ ගොඩක් දේවල් කියා අපිව සනසලා යනවා. නමුත් අපි තාමත් අඳුරේ. මේ දූපතේ ගොඩක් ඉන්නේ දුප්පත් මිනිස්සු. එදාවේල කන මිනිස්සු. ඒ අයට මොනවා හරි කරගන්න අඩු ගානේ කරන්ට් එක දෙන්න කියා තමා අපි ඉල්ලන්නේ.”
සුනිල් ප්‍රනාන්දු මහතා වෘත්තීය ධීවරයෙකි. ඔහු මෙලෙස පැවසීය.
“මේ රස්සාව කරන්න පටන් අරන් අවුරුදු විස්සකට වැඩියි. අපටත් ගොඩක් ප්‍රශ්න තිබෙනවා. අපට මේ රස්සාව හරියට කරගෙන යන්න අවශ්‍ය පසුබිම සකස් කර දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ ධීවර ආම්පන්නවල මිල ඉතා වැඩියි. සියලු ධීවර ආම්පන්නවල මිල පෙර පැවති මිලට වඩා හතර ගුණයකින් විතර වැඩි කර තිබෙන්නේ. ඒවා අඩු කර පහසුකම් දුන්නොත් අපට මේ රැකියාව කරගන්න පුළුවන්. තව එකක් තමයි මේ තහනම් දැල් පාවිච්චි කරන එක. තහනම් දැල්වලින් මේ මාළු පැටව් මැරෙනවා. මෙහෙම ගියොත් මාළු ටික විනාශ වෙනවා. මං හිතනවා අපි වගේ දුප්පත් මිනිස්සු ගැන හැඟීමක් ඇති ජනාධිපතිවරයෙක් දැන් පත්වෙලා ඉන්නේ.”
වත්මන් රජය ගැන මේ ධීවරයන්ට ඇත්තේ අලුත් බලාපොරොත්තුවක් බව ඔවුහු පවසති. ඒ නිසාම වත්මන් පාලනයේ ධීවර ඇමැතිවරයාගේ මැදිහත්වීම දෙස ඔවුහු බලා සිටිති.

දූපතේ නාවික නිලධාරීන් ජලය පානය කරමින්
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ සමඟ මාරවිල සමූහ-මිහිර විජේසේකර
(බත්තලංගුණ්ඩුවේ සංචාරයකින් පසු)