නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව 2025 වසරට ඩොලර් බිලියන 18.2ක අපනයන ආදායම් ඉලක්කයක් අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.
2024 මුදල් වර්ෂයේ අපනයන ආදායම ඩොලර් බිලියන 16.2ක් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර ඊට සාපේක්ෂව 2025 වසරේ ඩොලර් බිලියන දෙකක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.
2024 වෙෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 12.7ක් වන අතර සේවා අංශය ඩොලර් බිලියන 3.5ක ආදායමක් උපයා තිබේ.
2025 වර්ෂයේදී අපේක්ෂිත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 14.1ක් වන අතර සේවා අංශයෙන් ඩොලර් බිලියන 4.1ක ආදායමක් ඉලක්කගත කෙරෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
නව රජයේ බලාපොරොත්තුව වන්නේ ඉදිරි වසර පහ තුළ අපනයන ක්ෂේත්රයේ විශාල පිබිදීමක් ඇති කිරීමටයි. වෙළඳ භාණ්ඩ අපනයනය බිලියන 12 සිට බිලියන 25ක මට්ටමකට ඉදිරි වසර පහ තුළ ළඟාකර ගැනීම ඉලක්කයයි.
වෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට හතළිහක් නියෝජනය කරන්නේ ඇඟලුම් කර්මාන්තයයි. ඇඟලුම් කර්මාන්තයට අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඇඟලුම් කර්මාන්තයේ වර්තමාන අපනයන ආදායම බිලියන 5.2ක්. ජාත්‍යන්තරයේ ඇඟලුම් ක්ෂේත්රයට තිබෙන විශාල ඉල්ලුම අපි දකිනවා. එහි ශ්‍රී ලංකාවේ දායකත්වය අපිට ඉතා වැදගත් වෙනවා. අපේ ඇඟලුම් ක්ෂේත්රයේ අපනයන ආදායමේ ඉලක්කය වන්නේ 2030 වසර වන විට බිලියන 8.5ක් දක්වා ගෙන යෑමටයි. මැණික් හා ස්වර්ණාභරණ අංශය අපනයන ආදායම මිලියන 300ක් පමණයි. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක් ගත්තොත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ඩොලර් බිලියන 18ක එහා ගිය අපනයන ආදායමක් ලබනවා. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනයෙන් අප ලබන වත්මන් ආදායම මිලියන 551ක්. අපේ රටේ මෙම ක්ෂේත්රය තවත් රටවල් කිහිපයක ව්‍යාප්ත කරන්න පුළුවන් බව අපි හඳුනාගෙන තිබෙනවා. මාලදිවයින, මියන්මාරය සහ මැදපෙරදිග රටවල්වල ඉදිරි අවුරුදු පහ තුළ මේ ක්ෂේත්රය ඉදිරියට ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඩොලර් බිලියන එකකට එහා ගිය ආදායමක් ලබා ගැනීම එහි අපේක්ෂාවයි.
ඡායාරූප – සුදත් මලවීර