Sunday, May 11, 2025
Home » ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව ගැන සොයන්න නිලධාරීන් සාකච්ඡාවකට කැඳවනවා

ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව ගැන සොයන්න නිලධාරීන් සාකච්ඡාවකට කැඳවනවා

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර

by mahesh
January 17, 2025 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක‍

ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම මෘදුකාංගය හඳුන්වා දුන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (16) පැවසීය.

විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ උපදෙස් මත එම ආයතනය කැඳවූ බවද හෙතෙම සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ටිකට්පත් මාසයකට ඉහත දී අන්තර්ජාලයට මුදාහරින බවත් එසේ මුදාහැර බලා සිටියදී තත්පර 42ක් වැනි කෙටි කාලයකදී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදු වන බැවින් පරිගණක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති පුද්ගලයකු හෝ කණ්ඩායමක් මෙය සිදු කරන බවට සැකයක් පවතින බවද ඒ මහතා කීවේය. එහෙයින් මොබිටෙල් ආයතනය කැඳවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට තීරණය කළ බවත් කීවේය.

එම සිද්ධිය පසුපස මහා පරිමාණ වංචාවක් සිදු වන බවට දැනගත් වහාම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද දැනුම් දුන් බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.

මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයන්ට රුපියල් 16,000ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල් කරන පුද්ගලයන්ගේ සහය ලැබෙන බවට තොරතුරු පවතින බවත් කිවේය.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තා කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා උපදෙස් දුන් බවත් ඒ අනුව මේ පියවර ගත් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් දිනමිණ සිදු කළ විමසීමට පිළිතුරු දෙමින් පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT