Sunday, May 11, 2025
Home » එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා
නව දේශපාලන ප්‍රවාහයෙන්

එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා

-ශ්‍රී ලංකාවේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි

by mahesh
January 17, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

නව දේශපාලන ප්‍රවාහය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා යහපත් අවස්ථාවක් උදාවී තිබෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ඛලීඩ් නසර් අල්අමේරි (Khaled Nasser AlAmeri) මහතා පැවසීය.

තානාපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවේදීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් සහ ආයෝජකයන් සමඟ හමුවකට මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළ ඛලීඩ් නසර් අල්අමේරි මහතා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එය මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩ සහාය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී පැවසීය.

පසුගිය කාලය තුළ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ දක්නට නොතිබු බවද සඳහන් කළේය.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ පනස්දහසක් පමණ රැකියාවල නිරතව සිටින බවත්, ඉදිරියේදී එම රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට අපේක්ෂා කරන බවත් ඛලීඩ් නසර් අල්අමේරි මහතා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානමින් සිටින බවත් ඉදිරියේදී ඒ පිළිබඳ නව ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT