Home » කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ රාජකාරි එළිමහනේ
වහලය කඩාවැටිලා

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ රාජකාරි එළිමහනේ

by mahesh
January 17, 2025 12:59 am 0 comment

දෙව්නි මහගමගේ

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ වහලය ඉකුත්දා (09) හදිසියේ කඩාවැටීම නිසා මේ වන විට එහි මරණ පරීක්ෂණ කටයුතු එළිමහන් පරිශ්‍රයක පවත්වාගෙන යාමට සිදුව තිබේ.

වහලය කඩාවැටීම නිසා එහි කාර්යාල සේවිකාවකට සහ පොලිස් නිලධාරියකුට සුළු තුවාල සිදුව ඇත.

අතිරේක හදිසි මරණ පරීක්ෂකවරිය ‘දිනමිණ’ට ඊයේ (16) අදහස් දක්වමින් පවසා සිටියේ මරණ පරීක්ෂණ උසාවිය පිහිටා ඇති ගොඩනැඟිල්ල ඉතාමත් පැරණි බවයි. එහි ඇති පරාල බෙහෙවින්ම දිරාපත්වී ඇති නිසා මරණ පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම තමාට භාර ගැනීමට අපහසු බව ද ඇය කීවාය.

කුමන හෝ මොහොතක මෙම වහලය කඩාවැටී ජීවිත අවදානමක් ඇති විය හැකි බැවින් මරණ පරීක්ෂණ කටයුතු එළිමහන් පරිශ්‍රයක පවත්වාගෙන යාමට සිදුවීම නිසා තමා මෙන්ම පොලිස් නිලධාරීන් සහ මහජනයා ද ඉතා අපහසුතාවකට පත් වී ඇති බවත් ඇය පැවසුවාය.

එම කටයුතු සඳහා සුදුසු ස්ථානයක් ලැබෙනතුරු මෙම එළිමහන් භූමියේ රාජකාරි කටයුතු සිදු කරන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සියලු බලධාරීන් දැනුවත් කර ඇති බවත් තවම සුදුසු ස්ථානයක් ලැබී නොමැති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT