Home » නව දැක්මකින් නව චින්තනයකින් ප්‍රජාව සවිබල ගැන්වීම

නව දැක්මකින් නව චින්තනයකින් ප්‍රජාව සවිබල ගැන්වීම

by mahesh
January 17, 2025 12:59 am 0 comment

අතීතයේ පටන් දිළිඳු බවින් තොර ලංකාවක් ඉලක්කගතව ක්‍රියාත්මක සහනාධාර වැඩසටහන් බොහෝය. සහල් සලාක ක්‍රමය, ආහාර මුද්දර, ජනසවිය, සමෘද්ධි ඒ අතර ප්‍රමුඛය. මේ සෑම වැඩසටහනකින්ම ජන ජීවිතයට යම් පහසුවක් වුවද ප්‍රධාන අරමුණ ඉටු කරගැනීමේ අභියෝගය ජය ගැනීම අපහසු වී ඇත. සහනාධාරය ඉක්ම වූ යම් යම් ක්‍රමවේද හේතුවෙන් සමෘද්ධි වැඩසටහන විවිධ කාලවකවානුවල දිළිඳුකමේ දර්ශකය පහළ අගය කරා ගෙන යෑමට බලපෑම් කළ බව පිළිගත යුතු තත්ත්වයකි.

මේ වන විට සමෘද්ධි වැඩසටහන දශක තුනක් ආසන්නයට අප රටේ ක්‍රියාත්මකව තිබේ. දැනුමින් සේම අත්දැකීම් සහිත ප්‍රායෝගික මානව සම්පතක් එහි සිටී. දරිද්‍රතාව තුරන් කිරීමට සුදුසුකම් සහිත ප්‍රධාන ශ්‍රම බළකායත් ඔවුන් බවට සැක නැත.

රටට අලුතින් හඳුන්වා දුන් සුබසාධන වැඩසටහන අස්වැසුමය. එහි ජනතාව සවිබලගැන්වීමේ වගකීම භාරව ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවටයි. 2023 වර්ෂයේ ආරම්භ වූ අස්වැසුම මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ. ආර්ථික වශයෙන් අවදානම් තත්ත්වයේ පසුවන ජනතාව සවිබලගැන්වීම එහි අපේක්ෂාවයි. සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දුප්පත් යන කාණ්ඩවලට අයත් පවුල් ඒකක 1809,366ක් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් සපුරා තිබේ.

රුපියල් 5000 සිට රුපියල් 15,000 දක්වා සහනාධාර දීමනාවක් ඒ ඒ පවුල් ඒකකවලට හිමිය. එසේම ඒ නිර්ණායකවලට අයත් නොවන ආබාධිත හෝ එවැනි තත්ත්වයන්ට මුහුණ දී සිටින පිරිසක් ද සහනාධාරයට සුදුසුකම් ලබා තිබේ.

රජය ‍ මේ වැඩසටහන වඩාත් සාධනීය කිරීමට නව සංකල්ප ද හඳුන්වා දෙමින් සහ අත්හැරුණු එහෙත් ප්‍රතිලාභවලට සුදුසුකම් ඇති තව පිරිසක් පිළිබඳව ද අවධානය යොමු කර ඇත. සුබසාධන ප්‍රතිලාභවලට සීමා නොවී ප්‍රජාවගේ යැපුම් මානසිකත්වය අවම කර ස්වෝත්සාහයෙන් නඟාසිටුවීමට අවශ්‍ය සියලු පහසුකම් සහ මඟපෙන්වීම ද මේ යටතේ සැලසුම් කර ඇත. එසේම සහනාධාරය ඉහළ දැමීමට අදාළව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය මේ වන විට හිමිව තිබේ.

නව සංකල්පයෙන් ඉදිරියට යන මේ වැඩසටහන පංචවිධ සවිබලගැන්වීමේ ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රජය ක්‍රියාත්මක කරන මූලික සේවාවන් පිළිබඳ ජනතාවගේ අවබෝධය ප්‍රමාණවත් නොවේ. ඒ නිසා ජනතාවට සිය ජීවිතය පහසු කරන බොහෝ අවස්ථා මඟහැරී යෑම දක්නට ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය, නෛතික ක්ෂේත්‍ර ඇතුළු තවත් බොහෝ සේවාවන් ඒ අතර වේ. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළින් එවැනි පූර්ණ සේවාවන් දීමට මඟ පෙන්වයි.

සමාජයේ දුප්පත්කමට ප්‍රධාන හේතුවක් ලෙස පුද්ගලයන් තුළ මූල්‍ය සාක්ෂරතාව නැතිකම කලක සිට හඳුනාගෙන ඇත. ආදායමට සරිලන වියදම, ඉතුරුම් සහ ආයෝජන පිළිබඳව අඩු ආදායම්ලාභියා තුළ ඇත්තේ අල්ප දැනුමකි.

සමහර වෘත්තීන්වල දින වැටුප් ලබන කම්කරුවාගේ වැටුප මාසිකව ගණනය කර බැලූ විට සමහර විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප ද ඉක්මවා යන අවස්ථා බොහෝය. එසේ වුවද කම්කරුවාගේ ජීවන තත්ත්වය සැමදා ඛේදවාචකයකි. නව වැඩපිළිවෙළින් එය හඳුනාගෙන ඇති ගැටලුවකි. ඉතුරුම්, ණය සහ මූල්‍ය සේවා සම්බන්ධ කිරීමෙන් මෙකී ගැටලුවට සාර්ථක විසඳුමක් මේ වැඩසටහනෙන් අපේක්ෂා කරයි.

ඒ ඒ පුද්ගල හැකියාව මත පදනම් වූ පුහුණුව, ව්‍යවසායකත්වය පදනම් කර ගත් වෙළෙඳපොළ හඳුන්වාදීම, තාක්ෂණය සහ විද්‍යාත්මක පුහුණුව ද ජීවනෝපාය ප්‍රවර්ධනය සවිබලගැන්වීමට ඒකාබද්ධව පවතී. නිපුණතා පුහුණුවට අමතරව ජීවනෝපාය මූල්‍ය සහාය දීම ද මෙහි ඉලක්කගතය.

දුප්පත් මානසිකත්වය, පරිපූර්ණ පුරවැසියා නිර්මාණය කිරීමට ඇති ප්‍රමුඛ බාධාවකි. උපදේශන සහ මනෝ සමාජයීය පෞරුෂය ඇති කිරීමෙන් ඉලක්ක හඹා යෑමට පෙලඹුමක් ඇති කරයි. සමාජ ප්‍රවේශය සඳහා වන මානසික දුබලතාව හඳුනාගෙන පිළියම් සෙවීමෙන් පුද්ගල සවිබලගැන්වීම සේම පොදු ක්‍රියාකාරකම් සඳහා පෙලඹවීමේ වැදගත්කම හඳුනාගත්තකි.

සමස්ත වැඩසටහනෙහි ජාතික ඉලක්කය පරිපූර්ණ පවුල් ඒකකයකි. සිය දූ දරුවන් සමඟ අනාගතය දෙස සුබවාදීව දැකිය හැකි පවුලක් නිර්මාණය කිරීම ඒ හා සබැඳි ප්‍රධාන සැලසුම් අතර වේ. නව සමාජ ආරක්ෂණ වැඩසටහනට අයත් පවුල් පූර්ණ සවිබලගැන්වීම සඳහා වන ක්‍රියාවලිය ඉතා නිවැරදි ක්‍රමවේද මඟින් පසු විපරම් කෙරේ. හඳුනාගත් අඩුපාඩු නිවැරදි කිරීම වැඩසටහනේ ඉලක්ක අතපසු කිරීම හෝ අත්හැර දැමීම එයින් වැළකී යයි.

පරිපූර්ණ පවුල් ඒකකයට බාධා වන ඇබ්බැහිවීම් හෝ පුරුදු පිළිබඳ මේ වැඩසටහනේ දී විශේෂ අවධානයට සහ නිරීක්ෂණයට ලක් කෙරේ. ප්‍රජාව සවිබලගැන්වීමේ වැඩසටහනට පවුල් ඒකක තෝරා ගැනීමේ සිට සවිබලගැන්වීමේ ඉලක්කය සම්පූර්ණ කරන තෙක් මේ අධීක්ෂණය වඩාත් විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව සිදු කරයි. වැඩසටහනේ ග්‍රාමීයව සමීපම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කලාප කළමනාකරුවන් විසින් සතිපතා නියාමනය කෙරේ.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කලාප ව්‍යාපෘති කළමනාකරුවන් විසින් මාසිකව ද, දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සහ ව්‍යාපෘති කළමනාකරුවන් ද ඒ අතර වෙයි. විෂය භාර ඇමැතිවරයා, ලේකම් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

ජනරාල් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් විසින්

ත්‍රෛමාසිකව ප්‍රගතිය සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇත.

සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජීවන තත්ත්වය මත පදනම් වූ විශ්වීය සමාජ ආරක්ෂණයක් රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාරව තිරසර නව සමාජ ආරක්ෂණ වැඩසටහන පරිපූර්ණ පවුල් ඒකකයක් නිර්මාණය කිරීමේ පොහොසත් රටක් සඳහා වන සමාජ සාධාරණත්වයට වග වේ.

ඒ සඳහා පුළුල් පරාසයක විසිරුණු කණ්ඩායමකගේ අධීක්ෂණය පමණක් නොව විද්වතුන්ගේ සාධනීය විවේචන ද අවශ්‍ය වන්නේ සැමට සාධාරණ සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමේ යුතුකම වෙනුවෙනි. එවිට අප අපේක්‍ෂා කරන දියුණු වෙමින් පවතින රටක් යනුවෙන් ලියැවී ඇති වාක්‍ය දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කරනු පිණිසය.

ඒ අනුව අද (17) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී නව දැක්මක් සහ නව චින්තනයක් එක් වූ ප්‍රජා සවිබලගැන්වීම ආරම්භ කිරීමට නියමිතය.

තිලාන් පුංචිහේවා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT