Home » ගිරිබාවේ හේන් ගොවියෝ අස්වැන්නට නිසි මිලක් ඉල්ලති

ගිරිබාවේ හේන් ගොවියෝ අස්වැන්නට නිසි මිලක් ඉල්ලති

by mahesh
January 17, 2025 1:00 am 0 comment

තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්
ගිරවුන් කා දමා ඇති බඩඉරිඟු අස්වැන්න

අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ පිහිටි ගිරිබාව ප්‍රදේශයේ හේන් ගොවීහු වන සතුන්ගේ හානිය සහ සිය අස්වනු සඳහා නිසි මිලක් නොලැබීමෙන් පීඩාවට පත්ව සිටිති. ඒ අනුව ප්‍රමිතියෙන් යුතු බීජ සපයා ගැනීම, විවිධ පළිබෝධ හානි, වල් අලින්, ඌරන්, රිළවුන්, වඳුරන්, හාවුන් හා ඉත්තෑවුන් ආදී වන සතුන්ගෙන් මෙන්ම ගිරවුන්, මයිනන්, මොණරුන්ගෙන් වගාවන් වෙත සිදුවන හානි හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව හේන් ගොවීහු පවසති.

එමෙන්ම ඉඩම් නිරවුල් නොවීම පිළිබඳ ගැටලු, හේන් ගොවීන් සඳහා රජයෙන් ලැබෙන කවර හෝ උපකාරයක් නොවීම, භව භෝග සඳහා නිසි මිලක් නොලැබීම ආදි කම්කටොලු රැසක් සඳහා මැදිවන්නට මෙම හේන් ගොවීන්ට සිදුව ඇත. මෙම හේතුවෙන් සිය වගාවත්, මහන්සියත්, මුදලත්, අතොරක් බලාපොරොත්තුත් අපතේ යෑමට හේතුවී ඇති බව ගොවීහු පවසති. ගිරිබාව, හෙට්ටිආරච්චිගම ගමේ “ඇන්ටන් පුනාන්දු” මහතා තමන් අත්විඳින ගැටලු පිළිබඳව මෙසේ පැවසුවේය.

“දැන් හේන් කරලා නඩත්තු කරන එක ලේසි වැඩක් නෙමෙයි. රටකජු, බඩඉරිඟු, එළවළුවලට එක එක රෝග එනවා. අස්වැන්නක් ගන්නකන් ලොකු වියදමක් කරන්න ඕන. මහන්සියේ කෙළවරක් නෑ. කාගෙන්වත් අපිට කියලා වචනෙකින්වත් උදව්වක් නෑ. අස්වැන්න හැදීගෙන එන කාලෙට අපි මුළු දවසෙම හේනේ පැලේ තමයි ඉන්නේ. එතකොට රෑ, දවල් කියලා නෑ. දවල්ට බිම් පැලේ කෑම උයා පිහාගෙන කනවා. රෑට උඩ පැලට වෙලා ඉන්නවා. මේක ලොකු දුකක්.”

ගිරිබාවේ හෙට්ටිආරච්චිගම, මඩවලගම, දාරලුගම, දික්වැටිය, ඉහලවැව, කෝන්වැටිය, මයිලෑව, මොලෑව ආදී ගම් රැසක ගැමියෝ හේන් ගොවිතැනෙන් දිවි ගෙවති. එසේ පැසී එන ඵලදාව නෙළා අලෙවි කොට ගන්නා තෙක් රැක ගැනීම ඔවුනට සැබෑම යුද්ධයකි. මේ පිළිබඳව පළපුරුදු හේන් ගොවියෙකු වන ‘කිත්සිරි හේරත්’ මහතා මෙසේ පැවසුවේය.

“රිළවුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ. උදේ ඉඳන් ඉර බහිනකන්ම මං හේන වටේ කැරකි කැරකි ඉන්නෙ. පොඩ්ඩ බැරිවුණොත් රිළව් එක දෙතුන් සීයක් කඩා පැනලා මුළු යායම වනසනවා. එතකොට ඉතින් මාස ගාණක මහන්සිය එක පැයෙන් ඉවරයි. අනිත් සතා තමයි ඉත්තෑවා. ඌ කරන්නේ ඉඩඉරිඟු ගස් පිටින් කපාගෙන කැලේට ඇදගෙන යන එක. මොනරු, ගිරවු වගේ සත්තුන්ගෙනුත් පුදුම කරදරයක් තියෙන්නේ. අපේ මුළු ජීවිතේම තියෙන්නේ මේ හේනෙන් ගන්න අස්වැන්නත් එක්ක. ගොවිතැනට උදව් කරනවා කියන කිසිම නිලධාරියෙක් අපි අවුරුදු ගාණකින් ඇහැට දැකලා නෑ. එහෙම තියෙද්දි තමයි අපි මේ යුද්දේ කරන්නේ.”

බඩඉරිඟු, රටකජු, තල, මුං, කවුපි, උඳු, කුරහං මෙන්ම තක්කාලි, බණ්ඩක්කා, වට්ටක්කා, මෑ කරල් ආදි භව භෝග මෙම ගොවියෝ හේන් ආශ්‍රිතව වගා කරති. එහෙත් දැඩි වෙහෙස මහන්සිය සහ නිෂ්පාදන වියදමට සාපේක්ෂව අස්වැන්න සඳහා ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වා දෙති. ‘එම්. කුසුමාවතී’ මහත්මිය ඒ පිළිබඳව පැවසුවේ මෙවැනි අදහසකී.

“රෑට අලි එළවන්ඩ පැල් රකින්ඩ ඕන. උදේට හවස ගිරවු, රිලවු එලවන්ඩ ඔට්ටු වෙන්ඩ ඕන. නිවනක් නෑ. අවසානේ කරන වියදමත් එක්ක බලන කොට ලොකු ආදායමක් නෑ. කොයි වෙළෙන්දා ආවත් බලන්නේ තුට්ටු දෙකට අපේ මහන්සිය කඩා වඩා ගන්ඩ. ගම්මැදිවල මිනිස්සු විඳින දුක කවුරුවත් දන්නෑ. හැම අතේම අලි. හැම දවසකම කොහේ හරි යායකට පනිනවා. එහෙම රැකගත්තත් හරිහමන් මිලක් අස්වැන්නට නෑ. බලපුවහම අවසානේ ඇති දෙයක් නෑ. හේන්වලින් ජීවත් වෙන අපිටත් පොහොර සහනාධාරයක්වත් ලැබෙනව නම් ඒක ලොකු සහනයක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT