Home » බසයේ අමතක වී ගොස් තිබූ ලැප්ටොප් පරිගණකය විශ්වවිද්‍යාල ශිෂ්‍යාව අතට

බසයේ අමතක වී ගොස් තිබූ ලැප්ටොප් පරිගණකය විශ්වවිද්‍යාල ශිෂ්‍යාව අතට

by mahesh
January 17, 2025 1:00 am 0 comment

මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර

මහියංගණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත්, මහියංගණය දිවුලපැලැස්ස සිට ගලඋඩ හරහා බදුල්ල දක්වා දිනපතා ගමන් කරන බස්රථයක අමතක වී දමා ගිය ලැප්ටොප් පරිගණකයක් එම බස් රථයේ රියැදුරු මහතාගේ අවංකභාවය නිසාම, එම ලැප්ටොප් පරිගණකය, එහි හිමිකාරිය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයාවට පසුගියදා මහියංගණ පොලිසිය තුළ දී නීත්‍යනුකූල ආකාරයෙන් බාර දීමට කටයුතු සිදු කෙරිණි.

ලැප්ටොප් පරිගණකය අහිමි වීමෙන් විශ්වවිද්‍යාලයේ විශාල පාඩම්මාලා ප්‍රමාණයක් හා ව්‍යාපෘති අහිමි වීමෙන් අඩාළ වූ අධ්‍යාපන හැදැරීම් ඒ තුළින් මඟහැරුණු අතර, වෙළෙඳ ආයතනයකින් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඇය විසින් එම ලැප්ටොප් පරිගණයක මිලදී ගෙන තිබූ අතර, ලැප්ටොප් පරිගණකය නැති වූ අවස්ථාවේ එම ගෙවීම් ද කොටස් වශයෙන් ගෙවමින් පැවතිණි.

එලෙස දැඩි අවංකකමින් ලැප්ටොප් පරිගණක නැවත බාර දීමට කටයුතු කරනු ලැබුවේ බස් රථයේ රියැදුරු වන ඉන්දික කලුආරච්චි මහතා විසිනි. පසුගිය මස 29 වැනිදා බස් රථයේ අසුනක් මත අමතක වී ගිය බෑගයක් හමුවී ඇති අතර, එහි අයිතිකරු එය රැගෙන යෑමට නැවත පැමිණේවි යැයි සිතා එය ආරක්ෂිතව තබා තිබුණද දින කිහිපයක් කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් බෑගය විවර කර පරික්ෂා කිරීමේදී, ලැප්ටොප් පරිගණකයක් හමුව ඇති අතර බෑගය තුළ තිබූ කොළ කැබැල්ලක සටහන් කරන ලද දුරකතන අංකයක් අමතා විස්තර විමසා ඇත. එම අංකයට පිළිතුරු ලබාදී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු පුද්ගලයෙකු වන අතර ඔහු ගලඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තම දියණියගේ ලැප්ටොප් පරිගණකය බසයේ අමතකවී ගොස් ඇති බවට පියා විසින් ප්‍රකාශ කිරීමෙන් පසු, එහි අනන්‍යතාවය ද තහවුරු කර ගැනීමෙන් පසු ඩිපෝ අධිකාරිවරයා සමඟ බස් රථයේ රියැදුරු මහතා ඇතුළු බස් රථයේ කොන්දොස්තර මහතා විසින් ලැප්ටොප් පරිගණකය එහි හිමිකාරිය වූ හාලිඇළ, ගලඋඩ, තලාකුඹුර ගම්මානයේ පදිංචි දිනිති තාරුකා දිල්ශානි නම් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවට භාර දීමට පසුගියදා කටයුතු කෙරුණේ මහියංගණ පොලීසියේ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීය.

එම ලැප්ටොප් පරිගණකය ලක්ෂ 02කට ආසන්න මුදලක වටිනාකමකින් යුතු එකකි. ලැප්ටොප් පරිගණකය නැතිවීම පිළිබඳව විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව විසින් බදුල්ල හා ගලඋඩ පොලිස්ථාන දැනුවත් කරනු ලැබ ඇති අතර, ඒ පිළිබඳ හාලිඇළ පොලිස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කර ලැබ තිබියදී, ලැප්ටොප් පරිගණකය බසයේ අමතක වී ගොස් දින 09කට පසුව ඇයට එය නැවත ලැබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT