පස්සර-බදුල්ල ප්‍රධාන මාර්ගයේ කිරි මණ්ඩලය ආසන්නයේ කපා ඉවත් කර තිබූ ගසක පැරණි කඳ කොටසක් මාර්ගයට කඩා වැටීමෙන් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ගෝනගල කොටස, පස්සර ලිපිනයේ පදිංචි 26 හැවිරිදි අයෙකි. ඔහු ප්‍රතිකාර සඳහා පස්සර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව පස්සර රෝහලේ වෛද්‍යවරු පැවසූහ. පොලීසිය සඳහන් කළේ, පැදිකරු රාත්‍රි 8.00ට පමණ නිවෙස බලා යමින් සිටිය මාර්ගයට ඉහළින් තිබූ කපා ඉවත් කළ ගසක ඉතිරි කොටස පස් කණ්ඩියත් සමඟ පාරට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එම පස් කණ්ඩිය කඩා වැටීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසී යෑම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව තිබූ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය, පස්සර පොලිස් ස්ථානය හා එක්ව එම අවහිරතා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන නැවත මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.