Saturday, May 10, 2025
Home » ධීවර නියෝජ්‍ය ඇමැති බේරුවල වරායේ නිරීක්ෂණයක

ධීවර නියෝජ්‍ය ඇමැති බේරුවල වරායේ නිරීක්ෂණයක

by mahesh
January 17, 2025 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා බේරුවල ධීවර වරායේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට ඊයේ (14) එක්ව සිටියේය.

එහිදී අමාත්‍යවරයා බේරුවල ධීවර වරායේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ධීවර සමිති ක්‍රියාකාරීන් හා වරාය කළමනාකාරීත්වය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ අතර, අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ, ධීවර අමාත්‍යාංශ යටතේ පවතින සියලු ධීවර වරායන් සහ ආයතන දැඩි ලෙස පාඩු ලබන ආයතන බවත්, මේවා නඩත්තු කිරීම සහ මෙම ආයතන නැවත ලාභ ලබන ආයතන බවට පත් කිරීම රජයේ ඒකායන අරමුණ බවත්ය. ඒ සඳහා ඉතාමත් දුෂ්කර කාර්යයක් කිරීමට සිදුව ඇති බවද හෙතෙම පැවසීය.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ මෙවැනි ආයතන ප්‍රතිසංස්කරණය කොට රටේ ජනතාව අපේක්ෂා කරන තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා විශේෂ උපදෙස් ලබා දුන් බවත්, ඒ සඳහා සියලු දෙනා කැපවීමෙන් කටයුතු කරන බවත්‍ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. ඔහු වැඩිදුරටත් රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට නියමිත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවයි. අයකර ගන්නා බදු රටේ ජනතාවගේ සුබසාධනය සඳහා වැය කරන බවත්, ඒ පිළිබඳ ජනතාවට විශ්වාසයක් ඇතිව තිබෙන බවත්, ඒ නිසා රටේ ජනතාව මෙම බදු ප්‍රතිපත්තියට අප්‍රසාදයක් පළ නොකරන බවට තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT