– කෝටි ගාණක රජයේ මුදල් වැස්සට හේදෙන්න ඇරලා
– මාස ගාණක් ගියත් අලුත්වැඩියාවක් නෑ
– බිත්ති-උපකරණත් විනාශ මුඛයේ
කෝටි ගණනක රජයේ ප්‍රතිපාදන වැය කරමින් පුත්තලම නගර සභාව විසින් පුත්තලම කලපු තීරය ඉදිරිපිට ඉදිකරනු ලැබ තිබූ හිටපු නගරාධිපති දිවංගත කේ.ඒ. බායිස් අනුස්මරණ නගර ශාලාවේ වහලය පසුගිය වසරේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ හමාගිය සුළඟට හසුව කැඩී බිඳී විනාශයට ලක්ව තිබේ.
පුත්තලම නගරය හා අවට ප්‍රදේශවල ජනතාවගේ මංගල උත්සව ඇතුළු විවිධ උත්සව අවස්ථාවන් සේම රාජ්‍ය නිලධාරීන්ගේ සාකච්ඡා ආදිය සිදු කිරීම මෙම සුවිසල් ගොඩනැඟිල්ල ඉදිකිරීමේ මුඛ්‍ය පරමාර්ථය වී තිබිණි. වායුසමනය කරන ලද අංග සම්පූර්ණ සුඛෝපභෝගීව ඉදිකරන ලද මෙම ශාලාව සියලු පහසුකම් සහිත එකක් වුවද පසුගිය වසරේ ඇතිවූ සුළි සුළං හේතුවෙන් වහලය එක් පසෙකින් සම්පූර්ණයෙන්ම ගැලවී බිමටම පත් වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. වහලය ගැලවී ගොස් දැනට මාස කිහිපයක් ගත වුවද මේ වන තෙක් එහි කිසිදු නවීකරණයක් හෝ අලුත්වැඩියාවක් සිදු නොකර අයාලයේ හැර තිබීම බරපතළ ගැටලුසහගත තත්ත්වයක් බවද ජනතාව අවධාරණය කර සිටිති.
ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වන තෙක් කඩින් කඩ ඇදහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ එහි වහලය නොමැතිකමින් ගොඩනැඟිල්ල තුළට සෘජුවම වැසි ජලය ගලා ඒමෙන් ඒ තුළ ඇති වටිනා සම්පත් රැසක් විනාශ වී යාමේ දැඩි අවදානමකට ලක්ව ඇති බවයි. පුත්තලම නගර සභාව මඟින් නඩත්තු වන කෝටි ගණනක් වටිනා රජය සතු සම්පතක් මෙලෙස කාබාසිනියා වනතුරු මර නින්දේ බලාසිටින පුත්තලම නගර සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ජනතාව සිය අප්‍රසාදය පළ කරති.
මේ දිනවල ඇදහැලෙමින් පවතින වර්ෂාපතනයත් සමඟ ගොඩනැඟිල්ල තුළට ජලය කාන්දු වීමෙන් එහි බිත්ති ද විනාශයට පත්ව ඇති අයුරු ස්ථාන කිහිපයකදී දැක ගත හැකි වන අතර, ඒ තුළ ගබඩාකර ඇති පුටු සහ අනෙකුත් උපකරණ ද වැසි ජලයෙන් විනාශයට ලක්ව ඇති බව පෙනී යයි. එනිසා මෙවැනි වටිනා සම්පතක් දිනෙන් දින විනාශයට යෑමට ඉඩ නොහැර එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කර නැවත ජනතා අයිතියට පවරා දෙන ලෙස පුත්තලම ජනතාව පුත්තලම නගර සභාවේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.්