Sunday, May 11, 2025
Home » හතුරු නිසා මිතුරටත් වැඩ වරදී

හතුරු නිසා මිතුරටත් වැඩ වරදී

by mahesh
January 17, 2025 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
හතුරුසිංහ සහ මොහසින් ෂෙයික්

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ තනතුරෙන් නෙරපා හැරීමෙන් දින කිහිපයකට පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ජාතික කණ්ඩායමේ දත්ත විශ්ලේෂක මොහසින් ෂෙයික් කිසිදු හේතුවක් නොදක්වා ඉවත් කළේය. මෙලෙස තනතු‍රෙන් ඉවත් කළේ තමන් හතුරුගේ මිතුරකු නිසා යැයි මොහසින් ෂෙයික් දෝෂාරෝපණය කළේය.

මොහසින් ෂෙයික් මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිගර්ස් කණ්ඩායමේ කටයුතු කරමින් සිටින අතර, චිතගොං චෞද්රි ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලින් පසු මාධ්‍යවේදියකුට මේ බව පැවසීය. පාකිස්තාන සම්භවයක් ඇති මේ ඔස්ට්‍රේලියානු දත්ත විශ්ලේෂකයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී තොරතුරු හෙළි කරන බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට පෙර මොහසින් ෂෙයික්ගේ රැකියාව අහිමි විය. බංග්ලා‍දේශ පිලේ හිටපු පුහුණුකරු හතුරුසිංහ සමඟ ඇති මිත්‍රත්වය නිසා තමාට ඉවත් වීමට සිදුවූ බව මාධ්‍ය හමුවේ කරුණු සහිතව පැවසීමට ඔහු බලාපොරොත්තු වේ.

බංග්ලා‍දේශ ජාතික කණ්ඩායමට අමතරව ලෝකයේ විවිධ ප්‍රදේශවල ෆ්‍රැන්චයිස් ලීගවලද ඔහු ක්‍රියා කරමින් සිටියේය. මේ නිසා රැකියාව අහිමිවීම පිළිබඳ කලකිරීමක් නැති බවත්, වෙනදාට වඩා වැඩි කාලයක් තම පවුලේ අය සමඟ කාලය ගත කිරීමට හැකිවීම ගැනත් සතුටු වන බව හෙතෙම පැවසීය.

බංග්ලා‍දේශ ක්‍රිකට් ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේදී වසර දෙකක කොන්ත්‍රාත්තුවකට මොහසින් ෂෙයික් පත් කළේය. එම පත්වීම පිටුපස බංග්ලා‍දේශ ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහගේ භූමිකාව ද විය. චන්දික හතුරුසිංහ හා මොහසින් ෂෙයික් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලීගයේ එකට වැඩ කොට විශාල අත්දැකීම් ඇති දෙදෙනෙකි. මොහසින් ෂෙයික්ගේ ඉවත් කිරීමෙන් පසු ඉන්දීය ජාතික අක්ෂේ හයර් මේට් බංග්ලාදේශ ක්‍රිකට් දත්ත විශ්ලේෂක ලෙස පත්කොට ති‍බේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT