අඛණ්ඩ ඖෂධ සැපයුමකට ඉදිරි දෙවසරේ මෙරට ඖෂධ නිෂ්පාදන ධාරිතාවයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කරයි.
ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබාදීම සිදුකෙරිණි. මෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතුවලට රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති නිසා මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාව ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මේ වැඩපිළිවෙළේ අරමුණ බව ඇමැතිවරයා පැවසීය.
රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ (SPMC) වැඩ කටයුතු පිළිබඳ කරුණු සොයා බැලීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාළවීම යනාදී කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකිව ඇති බවත් සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවක් පවතින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම සහ ඒ ආශ්රිත ගැටලු පිළිබඳ සවිස්තර කරුණු සොයා බැලීමක් කළ ඇමැතිවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කර ගනිමින් නිෂ්පාදන ධාරිතාව කඩිනමින් ඉහළ දැමීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සෑම නගරයක්ම ආවරණය වන පරිදි අවශ්‍යතාව අනුව රාජ්‍ය ඔසුසල් ජාලයේ ශාඛා ප්‍රමාණය වැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ජපන් රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් වූ මේ ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට ඇමැතිවරයා ආයතනයේ සභාපති සහ පාලන අධිකාරිය සමඟ දීර්ඝ සාකච්ඡාවක ද නිරත විය.
ඖෂධ නිෂ්පාදනය,අමුද්‍රව්‍ය ගෙන ඒම,ඖෂධ පර්යේෂණ කටයුතු සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ ඇමැතිවරයා ඉදිරියේදී ඒ කටයුතු වර්ධනය කළයුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද කළේය.
ආයතනික සමාජ වගකීම්,රසායනාගාර පහසුකම්,පූර්ව නිෂ්පාදන සහ අලෙවිකරණය සහ ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද ඇමැතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, සාමාන්‍යාධිකාරී අසන්ති අතුරලිය මහත්ම මහත්මීන් ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.