කුඹුක්කන් ඔය මායිමට වන්නට පිහිටා ඇති බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මිනිපුරගම වසමේ පිහිටි ඉසුරු ගම්මානයේ පදිංචි පවුල් 45කට අධික පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. දිනපතා ගම්වදින වනඅලි හේතුවෙන් හා රිළවුන්ගෙන් සිදු වන හානියෙන් දැඩි ලෙස බැට කන ඔවුන් යන්නට හරිහැටි මාර්ගයක් නොමැතිකම හේතුවෙන් දැඩි ලෙස අසරණ වී සිටිති. ඔක්කම්පිටිය – මාලිගාවිල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් පහක් හයක් පමණ දුරින් පිහිටි මෙම ගම්මානයට යෑමට ඇති මාර්ගය ද දැඩි සේ අබලන් වීම හේතුවෙන් එම මාර්ගයේ ද බස් රථය ධාවනය වන්නේ එක් වරක් පමණි. ඒ උදෑසන දරුවන් රැගෙන යෑමට පැමිණෙන බස් රථයයි. වනඅලි තර්ජන හේතුවෙන් දරුවන් පාසල් යැවීමේ දැඩි පරිශ්රමයක් දැරීමට ඔවුන්ට සිදුව ඇති අතර, ගම්මානයේ පදිංචි දරුවන් ගණන 25ක් පමණ වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගම්වාසීහු පවසන්නේ, “මහත්තයෝ, අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. විදුලි වැට නඩත්තුවක් නැති නිසා අලි ගම් වදිනවා. අලින්ගෙන් හැමදාම බැට කනවා. වවාගන්න දෙයක් රිළවුන්ගෙන් බේරගන්න විදිහක් නෑ. දරුවන්ට පොතක් පතක් ගන්න විදිහක් නෑ. පොළොවෙ තියෙන දෙයක් හාරලා ගන්න විදිහක් නෑ පොලීසියෙන් අල්ලනවා. යන්න එන්න හරියට පාරක් තොටක් නෑ. පවුල් 45-50ක් ඉන්න මේ ගමේ මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නේ. ගම ඉසුරු වුණාට අපට සෙනසුරු උදා වෙලා” යැයි කියාය.
ප්රදේශවාසී ඩබ්.පී. අශෝකා මහත්මිය සිය දුක් කම්කටොලු මෙසේ දිග හැරියාය.
“ඉසුරු ගම්මානයේ ගොඩාක් අය ජීවත්වෙන්නේ පතල් රස්සාවෙන්. ඒ ගියත් දවස් දෙකයි තුනයි ඇවිල්ලා අල්ලන් යනවා. අඩුම තරමේ දරුවන්ට පොත් ටිකවත් ගන්න විදිහක් නැතුව ඉන්නේ. ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. රජයෙන් ලැබෙන ගොඩාක් දේවල් මේ ගමට නෑ. නිලධාරියෙක් එන්නේ නෑ. ගොඩාක් පවුල්වලට අස්වැසුම නෑ. ඒ වගේම සත්තුන්ගෙන් ගොඩාක් හානි වෙනවා. තැඹිලි වල්ලක් තියන්න විදිහක් නෑ. ගහක පැපොල් ගෙඩියක් නෑ. ඉරිඟු කරලක් තියාගන්න විදිහක් නෑ. අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා.”
එස්. එම්. මාලනී සමරකෝන් මහත්මිය මෙසේ පැවසුවාය.
“මේ ගම ඉසුරුගම කියලා දන්නවද දන්නේ නෑ කවුරුවත්. ඒ තරමට ඉතාමත් අසරණ ගමක්. බොහොම අමාරුවෙන් ගමට බස් එකක් එනවා ඒක එන්නේ ඉස්කෝලේ දරුවෝ ගෙනියන්න විතරයි. බස් ඒක ආයේ දරුවෝ අරගෙන යන්න එන්නේ නෑ. දරුවන් ආපහු ගෙනල්ලා දාන්නත් බස් එක එනවා නම් ලොකු දෙයක්.”
ප්රදේශවාසියකු වන ඩී.එම්. සුදුබණ්ඩා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
“අපේ ප්‍රශ්න විසඳන්න ඔය කියන කිසිම නිලධාරියෙක්වත්, දේශපානලඥයෙක්වත් එන්නේ නෑ. අලියකුට මොනවාහරි වුණා කිවුවොත් නම් දුවගෙන එනවා. ඉඩමක් කාලා විනාශ කරලා කිවුවොත් ඕක ෆොටෝ ගහගන්න කියනවා. පැත්ත පළාතේ එන්නේ නෑ. අපට මේවාට විසඳුමක් දෙන්න බැරිනම් අපට ජීවත් වෙන්න වෙන ගමක්වත් හොයලා දෙන්න කියලා අපි කියන්නේ. අපට හැමදාම කඳුළුත් එක්ක ජීවත් වෙන්න බෑ.”