අසල්වැසි නිවෙසකට ගිය දෙහැවිරිදි පිරිමි දරුවකුගේ හිස මතට ඒ නිවෙසේ ගේට්ටුව වැටීමෙන් දරුවා පෙරේදා (19) මියගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වින්සන් ප්රනාන්දු මාවත, දඩුගම, ජාඇළ පදිංචි ශෙනූ නිම්න නමැති වයස අවුරුදු 2යි මාස 3ක් වයසැති දරුවෙකි.
මියගිය දරුවා හා ඔහුගේ පස් හැවිරිදි සොහොයුරා සිය නිවෙසේ සිට ආසන්නයේ ඇති නිවෙසකට ගොස් ඇත්තේ එහි පෙදරේරු සේවයේ යෙදී සිටි ඔවුන්ගේ සීයා බැලීමටය.
සීයා ඒ අවස්ථාවේ එහි සිට නැති අතර එහිදී මේ දොසොයුරන් ආපසු පැමිණීමට සුදානම් වූ අවස්ථාවේ නිවෙසට ඇතුළු වන ප්රධාන ගේට්ටුව ඔවුන් මතට පෙරැළී තිබේ. ගේට්ටුව පෙරැළීම නිසා බාල සොයුරා ගේට්ටුවට සම්පූර්ණයෙන්ම යට වී ඇත. ගේට්ටුවට යට වූ සිය සොයුරා බේරා ගැනීමට පස් හැවිරිදි දරුවා වැටුණු ගේට්ටුව එසවීමට උත්සාහ ගන්නා අයුරු දුටු ඒ අසලින් ගිය පුද්ගලයකු දැක ඔහු විසින් ගේට්ටුව ඔසවා අසල්වැසියන්ගේ සහාය ඇතිව දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ජාඇළ පොලීසිය මගින් සිදු කරයි.
ජාඇළ සමූහ – ප්රසංග පෙරේරා