Home » බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කථානායක හමුවෙයි

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කථානායක හමුවෙයි

by yasara
January 21, 2025 12:45 pm 0 comment

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  ඇන්ඩෲ පැට්‍රික් මහතා පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා  කථානායක (වෛද්‍ය) වික්‍රමරත්න මහතාට සිය සුභ පැතුම් එක් කළ අතර එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ සුබ පැතුම් ලිපියක් ද භාර දුන්නේය.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත සංචාරයේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.

එසේම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපිත කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතා, එක්සත් රාජධානිය විසින් විවිධ අංශ ඔස්සේ මෙරටට ලබා දුන් දිගුකාලීන සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

මෑත කාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී එක්සත් රාජධානියේ සහාය ද ඔහුගේ ඇගයීමට ලක්විය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය පාර්ලිමේන්තුවට ලබා දුන් දායකත්වයන් පිළිබඳව ද සිය කෘතඥතාවය පළ කළ කථානායකවරයා ඉදිරියේදී ද එම සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන්, පාර්ලිමේන්තු කාරක සභාවල ක්‍රියාකාරිත්වය සහ පාර්ලිමේන්තු මහජන සම්බන්ධතා වැඩසටහන් යනාදී ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT