Saturday, May 10, 2025
Home » ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අභිමානවත් 160 වන සංවත්සරය සමරයි

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අභිමානවත් 160 වන සංවත්සරය සමරයි

by chanaka
January 21, 2025 6:47 am 0 comment

වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ සහෝදරතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ගුරුමණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, වත්මන් ශිෂ්‍යයන්, දෙමාපියන් හා සම්භාවනීය ආරාධිතයන් ඇතුළු 3000 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. වසර 160 ක තරම් දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්‍රී ලාංකීය පාසල් කිහිපය අතර ප්‍රමුඛත්වයේ කැපී පෙනෙන ද ලාසාල් පැවිදි නිකායේ සහෝදරතුමන්ලාගේ (F.S.C.) පරිපාලනයෙන් ක්‍රියාත්මක කෙරෙන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය එදා මෙදා තුර ශ්‍රී ලාංකීය පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම අධ්‍යාපන තත්ත්වයක් පවත්වාගෙන ආ පාසැලක් ලෙස කීර්තිමත්ය. ගතවූ වසර 160 ක කාලය තුල ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය ආගමික, අධ්‍යාපනික, ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ටත්, කලා ක්ෂේත්‍රය, රාජ්‍ය ආරක්ෂක සේවයට හා දේශපාලනයටත් වැඩදායී ප්‍රමුඛ ආදි සිසු පරපුරක් ගොඩනැංවීමට සමත්ව සිටියි.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ආචාර්ය පුබුදු රාජපක්ෂ සහෝදරතුමා විසින් සංවත්සර උත්සව සභාවේ ආරම්භක දේශනය සිදුකිරීමෙන් අනතුරුව විද්‍යාලයේ කිතුණු ආධ්‍යාත්මික වටිනාකම අරුත්ගන්වමින් පූජ්‍ය ඩැරල් කූඥේ පියතුමා විසින් දිව්‍ය සත්ප්‍රසාද වන්දනා ආශිර්වාද පූජාවක් පවත්වන්නට යෙදින. එදින සවස් කාලයේදී සාම්ප්‍රදායිකත්වයේ වටිනාකම් සමග 21 වැනි ශතවර්ෂයේ අධ්‍යාපනික නව්‍යකරණය වෙත පිවිසීම නිරූපණය කෙරෙන “160 සහ ඔබ්බට (160 and Beyond)” තේමාව පෙරටු කොටගත් 160 වන සංවත්සර සමරුම් ලාංඡනය එළිදැක්වූ අතර එම ප්‍රීතිමත් මොහොත වර්ණවත් කරමින් කොළඹ අහස විචිත්‍රවත් කළ මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්විණ.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ 160 වැනි සංවත්සරය හා සමගාමීව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය මුසු වූ ලොව ප්‍රමුඛතම නවීන අධ්‍යාපන ක්‍රමවේදයක් වන STEM අධ්‍යාපනය සිසු දරුවන් වෙත සමීප කිරීමෙහිලා නව අධ්‍යාපන මධ්‍යස්ථානයක් 2025 ජනවාරි 17 වැනිදා විවෘත කෙරිණ. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මෙම නව STEM අධ්‍යාපන මධ්‍යස්ථානය සාම්ප්‍රදායික අධ්‍යාපන සීමාවන් ඉක්මවා යමින් නව ලොවට ගැලපෙන නව්‍යකරණයෙන් හා චින්තන ශක්තියෙන් පිරිපුන් දැනුමක් සහිත විද්වත් ශ්‍රී ලාංකික පුරවැසි පරපුරක් බිහිකිරීමෙහිලා ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිකිරීමට සමත්ව තිබේ.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ 160 වන සංවත්සර සැමරුම් කමිටු සභාපති ග්‍රේෂන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සංවත්සර කමිටුව විසින් විද්‍යාලීය ආදි ශිෂ්‍ය කමිටුව සමග එක්ව විද්‍යාලයේ ප්‍රෞඩ ඉතිහාසය විචිත්‍රවත් කෙරෙන සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම්කොට ඇත. ඒ අනුව දෙදින අධ්‍යාපනික උත්සවයක්, විද්‍යාලයේ සිසුන්ගේ ගායන වාදන කුසලතා ප්‍රකට කෙරෙන සුවිශේෂී සංගීත ප්‍රසංගයක්, සැමරුම් පාගමනක්, රථ පෙරහැරක් සහ සියළු සැණකෙළි විචිත්‍රාංගයන්ගෙන් පිරිපුන් වර්ණවත් සැණකෙළියක් ඉදිරියේදී සංවිධානය කෙරේ.

දූරදර්ශී නායකත්වයක් පෙරටුකොටගෙන විනය හා විශිෂ්ඨත්වය මුසුවූ පරිපාලන ක්‍රමවේදයක් සමග “160 සහ ඔබ්බට (160 and Beyond)” තේමාව ඔස්සේ 160 වන වසරට පාතැබූ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පාරම්පරික විශිෂ්ඨත්වය සමග නවලොවට ගැලපෙන නව්‍යකරණයෙන් පිරිපුන්ව ශ්‍රී ලාංකීය පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරමාදර්ශී පාසලක් ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT