Wednesday, March 26, 2025
Home » පැතුම් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට

පැතුම් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට

by chanaka
January 21, 2025 8:25 am 0 comment

ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ (20) සිදු කෙරුණු අතර ඒ අනුව කමිඳු මෙන්ඩිස් හට ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් තවමත් පූර්ණ සුවය ලබා නොමැති පැතුම් නිස්සංක හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවේ.

සී.සී.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම අතර පසුගිය සිකුරාදා (17 ) පැවැති මේජර් ක්ලබ් තුන්දින තරගාවලියේ තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී කමිඳු දකුණු අතෙහි ආබාධයකට ලක් විය.

එහිදී ඔහුගේ ඇඟිලි අතර පටලය හානි වූ අතර එම ආබාධයේ තත්ත්වය බරපතළ නොවන බැවින් කමිඳුට පළමු ටෙස්ට් තරගයේ සිට තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමි වේ.

මේ අතර නවසීලන්තයේ පැවැති අවසන් එක්දින තරගයේදී පාදයේ ආබාධයකට මුහුණ දුන් පැතුම්ගේ මේ වන විට තත්ත්වය අනුව පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීම වෛද්‍ය නිර්දේශය වී ඇති අතර ඒ අනුව ඔහු දෙවැනි ටෙස්ට් තරගය සඳහා පමණක් සහභාගී කරවීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර බිග් බෑෂ් තරගාවලියේදී වැලමිටෙහි ආබාධයකට මුහුණදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීවන් ස්මිත් හට ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (20) තහවුරු කර ඇත.

මින් පෙර ඔහුගේ ශ්‍රී ලංකා තරගාවලි සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පැවතුණි.

මේ අනුව ස්මිත් මේ වන විට ඩුබායි හි පුහුණු කඳවුරකට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් සම්බන්ධවීමට නියමිත අතර ඔහු මෙම සතිය අවසන් වන විට පිතිකරණ පුහුණුවීම් අරඹනු ඇතැයි වර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT