Home » නිහඬ බවේ තුවාලය

නිහඬ බවේ තුවාලය

by Gayan Abeykoon
January 22, 2025 1:55 am 0 comment

හර්ෂිනී පුෂ්පමාලා  ආරච්චිගේ

ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සිවලිංගම් ආරුරන් වසර 14කට පසු 2023-05-16 දින නිදහස ලැබී ය. 2022 දී ඔහු විසින් ලියන ලද දෙමළ නවකතාව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබී තිබුණි. ඒ සමඟ ම, “ රාජ්‍ය සාහිත්‍ය  සම්මානයෙන් පිදුම් ලද සිවලිංගම් නිදහස් කරනු” යි බොහෝ දෙනකු මුහුණු පොතේ සටහන් තබා තිබුණි. පසුගිය දිනෙක ද ඔහුගේ රුව මුහුණු පොතෙහි ඉහළ පහළ යනු දුටිමි.

2008දී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි ආනන්ද් සුදාකරන් හට 2017දී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන්නේ බලහත්කාරයෙන් ලබා ගත් පා‌පෝච්චාරණයක් මත ය. 2005 දී අත්අඩංගුවට පත් මුත්තයියා සහාදේවන් වෙත 2008 වසරේ දී නඩු පැවරෙන්නේ ඔහු නො දත් බසකින් ගනු ලබන පාපෝච්චාරණය අනුව ය. වසර 14ක් බන්ධනාගාරගතව සිටි ඔහු මිය යන්නේ 2019 වසරේ දී ය.

එල්. ටී. ටී. ඊ සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත්ව, නොදත් බසකින් ඉදිරිපත් කරන ලද පාපෝච්චාරණයන් අනුව වරදකරුවන් කොට බන්ධනාගාර ගත කරන ලද්දෝ බන්ධනාගාර තුළ අදත් වෙසෙති.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇප නොලබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද, නම නො දත් තව බොහෝ දෙනකුද සිටී. යෞවනයන් ලෙස බන්ධනාගාරගත වූ බොහෝ දෙනකු මේවන විට මැදිවිය ගත කරමින් සිටිනු ඇත.

මේ වන විට යුද්ධය අවසන්ව වසර 16කට ආසන්න ය. සිරගතවූවන් මෙන්ම ඔවුන්ගේ නිවැසියෝ අදත් තම සමීපතමයන්  වෙනුවෙන් දුක් කම්කටොලු විඳිති.

රජයන්  විසින් අණපනත් ගෙන එන්නේත්, ඒවා පවත්වාගෙන යන්නේත් මහජන ආරක්ෂාවට වඩා තම  රජයේ ආරක්ෂාව සඳහා ය. 1979 වර්ෂයේ දී තාවකාලිකව සම්මත කරගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත්  සදාකාලිකව පවතින්නේ ඒ නිසා ය. ආණ්ඩුවක් එල්ල කරනු ලබන  පීඩනයට එරෙහිව නැඟී සිටින  සිටින කවර අයකු වුව ද  “ ත්‍රස්තවාදියකු” ලෙස නම් කිරීමේ හැකියාව රජයකට ඇත. රජයේ අරුත්ගැන්වීමට අනුව එල්.ටී.ටී. ඊය ත්‍රස්තවාදි සංවිධානයකි.

ජනතා විමුක්ති පෙරමුණ ද 1987/88 වකවානුවල දී ආණ්ඩුවේ අර්ථගැන්වීමට අනුව  ත්‍රස්තවාදි සංවිධානයකි.

හේතුවක් රහිතව  අරගලයක් බිහිවන්නේ නැත. පීඩනය විසින් මිනිසුන් එතැනට තල්ලු කරනු ලබයි. අසාධාරණයේ දී තාරුණ්‍ය කෙළෙසවත් ඉවසනසුලු නැත. ජාතිය කවරක් වුව මිනිස් ස්වභාවය එය ය. උතුරේත් දකුණේත් ඒ වෙනුවෙන් ජීවිතය දුන් බොහෝ පිරිසක් වෙති. ජාතිය කවරක් වුව ඔවුන් බහුතරයකගේ අරමුණ සාධාරණ සමාජයකි; යහපත් අනාගතයකි. ආණ්ඩුවේ නාමකරණ නො සලකා සමස්ත ප්‍රගතිශීලින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේත්, අරගල කළ යුත්තේත් එ නිසා ය. එහි දී ඔවුන් පෙනී සිටිය යුත්තේත්,  අරගල කළ යුත්තේත් එක් එක් පුද්ගලයා වෙනුවෙන් නො ව, මෙම  පනත යටතේ බන්ධනාගාර ගත කොට සිටින සමස්ත සිරකරුවන් වෙනුවෙනි; සමස්ත රැඳවියන් වෙනුවෙනි.

නීතිය අනුව වසර ගණනක් පුරා  නඩු නොමැතිව රඳවා සිටින දෙමළ බස කතාකරන රැඳවියන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව කඩිනම් විසඳුමකට යාමට රජයට දැන් හැකියාව ඇත. ඔවුන් සියල්ලෝ ම දේශපාලන සිරකරුවෝ ය: පීඩිතයෝ ය: පීඩනයට එරෙහිව සටන් කළ වුන් ය. තවමත් සුව නොවූ හදවත් සහිත ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල උදවියගේත් හදවතේ තුවාළ සුව කළ හැක්කේ ද, බලවත් අසාධාරණයකට සහ පීඩනයකට ලක් වූ ඔවුන් වෙත සහෝදරත්වයේ දෑත දිගු කළ හැක්කේ ද,   දේශපාලන සිරකරුවන් ලෙස සලකා ඔවුන් වෙත නිදහස ප්‍රදානය කිරීමෙන් ම පමණකි.

එකල්හි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ද ඇතුළු අරගලකරුවන් නිදහස් වන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් දෙන ලද  පොදු සමාව තුළ ය. එහි දී ඔහුගේ අරමුණ කවරක් වුව ඉන් සිදු වූ යහපත විශාල ය.

එක් එක් කණ්ඩායම් තමන්ගේ මිනිහා නිදහස් කර දෙන්නැයි උද්ඝෝෂණයේ ද, බලකිරීම්වල ද නිරත නො වී මෙම පනත යටතේ අත්අඩංගුවට පත් සියල්ලන් වෙනුවෙන් අරගල කරන්නේ නම් එය වඩා විචිත්‍ර  ය. ඒ සඳහා , පාටක්, ජාතියක්, විශේෂ හැකියාවක් හෝ තරාතිරමක් අදාළ නො විය යුතු ය.

එය සියලු ප්‍රගතිශීලීන්ගේ මෙන්ම ප්‍රගතිශිලි රජයක ද  වගකීමක් බව නොකිවමනා ය.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT