Home » ශබ්දයේ දේශපාලනය ගැන සවිඥානක විය යුතුයි

ශබ්දයේ දේශපාලනය ගැන සවිඥානක විය යුතුයි

බූපති නලින් වික්‍රමගේ

by Gayan Abeykoon
January 22, 2025 1:19 am 0 comment

සටහන - ප්රියාන් ආර් විජේබණ්ඩාර

(ආචාර්ය තරුපති මුණසිංහගේ “ශබ්ද මානවවංශවේදය”කෘතිය එළිදැක්වූ අවස්ථාවේදී බූපති නලින් වික්‍රමගේ
විසින් “ශබ්දයේ දෘෂ්ටිවාදී විකාශනය” නමින් කළ දේශනය ඇසුරින් සකස් කොට සංස්කරණය කරන ලද ලිපියකි.)

මාජ විද්‍යාවේ මානව වංශවේදය ආශ්‍රිතව මා කැමති වන්නේ දෘෂ්ටිවාදය පැත්තෙන් එය විශේෂ වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට ය. මිනිසුන් සමාජයේ ‘ශබ්දය’ ගැන සිතීම ගැන ඇතැම් වැකි තිබෙනවා.  සත්‍ය ගැන සාකච්ඡවේදීද ‘ශබ්දය’ ගැන කතාකරනවා.  ‘දොරේ සද්දෙයි පඩේ සද්දෙයි වෙනස මං දන්නවා’. ශබ්දය සහ සත්‍යය අතර සම්බන්ධයක් එයින් හැඟවෙනවා. ‘සද්දෙ දාගෙන එන්ඩ එපා’ කියල කියමනකුත් තියෙනවා. මෑත කාලයේ ‘විශාල සද්දයක් ඇහුණා’ කියන එකටත් වෙනම අර්ථයක් ලැබුණා.

මගෙ පුද්ගලික ජීවිතයේදී “ශබ්දය”ගැන සිතීමේදී හයිලෙවල් පාර අයිනේ, විජේරාම-නාවින්න ආශ්‍රිතව  කුලියට හිටපු කාලෙ, කෝච්චියෙන් මරදාන ආනන්දෙට ඉස්කෝලෙ යන කාලෙ මතක් කළ හැකියි.  ගෙදරදි රූකාන්තලගෙ, භාතිය-සංතුෂ්ලගෙ සිංදු අහල, කෝචිචියේ එක එක සිංදු අහල, මරදානෙන් බැහැල ඉස්කෝලෙට එනකල් ඒ.ආර් රහ්මන් වගේ අයගෙ දමිල ගීත අහල, ඉස්කෝලට ආවම ජාතිකවාදී ගීත අහන්න සිදුවුණා. මේක ටිකක් ලොකු පරාසයක ඇසීමක්. ඉස්කෝලෙ තාප්පෙ ඇතුළේ විතරක් ජාතිකවාදය. මේකට ඕන නම් හඬ පිළිබඳ දේශපාලනය (politics of sonic) කියලා කියන්න පුළුවන්.

ස්වභාවික ශබ්ද තිබීම සත්‍යයක් වුවත්, ඒවා ඒ ආකාරයෙන්ම ඇසීම හරිම අසීරුයි. හැමවෙලේම ගොඩනංවන ලද ශබ්ද සමඟ තමා අපි වැඩකරන්නෙ. මනෝ විශ්ලේෂණයේදී කියන කාරණයේදී නම් හඬ කියන්නේ “ සුපිරි අහමේ (super ego) ප්‍රකාශනයක්.ඒ කියන්නෙ නීතිය හා පිළිවෙළ පිළිබඳ අපට එන අවධාරණය. මෙලෙස ගොඩනංවන ලද හඬ දෘෂ්ටිවාදයක් ලෙස තමා ක්‍රියාත්මක වෙන්නෙ. එතැන  ලෝකය පිළිබඳ සමස්ත අදහසක් තියෙනවා.

ලංකාවේ හඬ  පුහුණු  කිරීම පිළිබඳ රාජ්‍ය මැදිහත්වීම මොන වගේද? රජයේ චිත්‍රපට ඒකකය තමා එතනදි තීරණාත්මක වෙන්නෙ. ඒ අය සැබෑ හඬයි, අප ගත යුතු හඬයි අතර වෙනස ගැන යම් මැදිහත්වීමක් කරනවා.  වාර්තා චිත්‍රපටයක් හැදුවත් පවත්නා හඬත්, අප ගන්නා හඬත් එකක් නෙවෙයි දෙකක් බව එතනදී අවධාරණය කෙරෙනවා.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව වුණත් එහෙමයි.  ගුවන්විදුලි සංස්ථාවේ පුවත් විකාශනයේ පුවත් කියැවීම බර හඬකින් කිව යුතුවුණා.  එහෙත් පසුව සිරස, දෙරණ, හිරු ඇවිත් ඒ බර හඬ වෙනුවට ප්‍රවෘත්ති යනු කතන්දර කියන කලාවක් බවට පත්කළා.  ඒකෙ පැවති බරපතළකම තුනී කළා. ඒවා වචනම නොව වොයිස් ප්‍රසන්ටේෂන්. ඒ අනුව ලංකාවේ හඬ දේශපාලනය ජාතික රාජ්‍ය යේ සිට ප්‍රාග්ධනයට විතැන්වීමක් සිදුවුණා.  එවිට හඬ පරාසය තීරණය කිරීමේ බලය ප්‍රාග්ධන හිමියන්ට අයිති කාර්යයක් බවට පත්වුණා.

කාර්මික විප්ලවයට පෙර හඬ වෙනස්. ගෘහ නිර්මාණ ශිල්පය ගැන මුලින් ලියපු චින්තකයකු වූයේ ඉතාලි ජාතික විටෘවියස්. ලියනාඩෝ ඩාවින්චිගෙ “විටෘවියස් මෑන්” නමින් නම් කළ ප්‍රසිද්ධ චිත්‍රයකුත් තියෙනවා. කොහොම වුණත්,  විෘවියස් එයාගෙ ‘ ටෙන් බුක්ස් ඔෆ් ආර්කිටෙක්චර්ස් ’පොතේ 5 වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ ‘හඬ’ ගැන සාකච්ඡා කිරීමටයි.

ඒ යුගයේ වොයිස් එක ඩබල් කරන්න බෑ. ඒ නිසාම ඔහු උපදෙස් දී ඇත්තේ පල්ලිවල මධ්‍යගත ශබ්ද පරාසය අත්විඳින්නට හැකිවන ලෙස ගොඩනැඟිල්ල සැලසුම් කරන්නටයි.  ශබ්දය හා   සත්‍යය මධ්‍යගත කරන්නේ කෙසේද? යන්න එහිදී සැලකිල්ලට ගත්තා. තියටර්ස්වල  නාට්‍යවලට අදාළවත් එහෙමයි. ග්‍රීක යුගයේ තියටර්වල ඒක සකස් කළ ආකාරය වෙනස්. අනෙක් අතට එය සාමූහිකයි. පල්ලියේ ගීතිකා ගායනා කරද්දී අපි සියලුදෙනා එකට එකතුවී සාමූහිකව ගායනා කරනවා.  අපේ හඬ අපටම ඇසෙනවා. ඊළඟට උදාවන්නේ කාර්මික විප්ලවයට පසු යුගයයි. ඊට පසුව රේඩියෝව, ටෙලිෆෝනය ඒමත් සමඟ ශබ්දය කියන්නේ අනුභූතික නොවන දෙයක් බවට පත්වෙනවා. ඒ කියන්නෙ ළඟ සිට ඇසිය යුතු නැති යමක් බවට පත්වෙනවා. සීමාවට ලඝු නොවී හඬ නැවත නිෂ්පාදනය වීමෙන් දුර සිට ඇහුන්කන්දීමට හැකියාව ලැබෙනවා. සමස්තයක් හැදීම තුළ සත්‍යය ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා.

ඉන්පසුව ඩිජිටල් යුගයට ඒම සිදුවෙනවා. මෙහිදී ශබ්දය අතිශය පුද්ගලවාදී වෙනවා. නිදසුනක් ලෙස දුරකථනයේ රිංගින් ටෝන් එක සලකා බැලිය හැකියි.  එය අතිශය පුද්ගලිකයි. හුවමාරු භාණ්ඩ වටිනාකමක් බවට පත්කරන්න බෑ. ඒක ලොකු ප්‍රාග්ධනයක් සංචලනය වන කර්මාන්තයක්. ධනවාදයේ පරිභෝජන නිදහසේ උපරිම ඵලය එතැනයි.  පුද්ගලික ජීවිතවලදීත් මේ අත්දැකීම වෙනස් ස්වරූපයකින් අත්දැකිය හැකියි. සාද වලදී බෆල් එකයි, තමන්ගෙ ෆෝන් එකයි විතරක් අරන් යන කෙනා  තමන් කැමති සිංදුවල කැරොකෙ නාද දාගෙන සිංදු  කියන්න ගන්නවා. වටේ ඉන්න උන්ට තමන් කැමති සිංදුවක් ඉල්ලන්න උගෙ ළඟ දණින් වැටෙන්න වෙනවා. අනිත් උන් උන්නද, මළාද නැතිව ඌ කියාගෙන යනවා. අර කලින් සිංදුවක් කියන්න එකතු වෙච්චි සාමූහිකභාවය නැතිවෙලා. ඌ කියන සිංදුව තමා අපට කියන්න වෙන්නෙ. මං මේක තේරුම් ගන්නේ ශබ්දය පිළිබඳ පුද්ගලවාදී යුගගේ පවත්නා දැඩි ඛේදවාචකයක් ලෙසයි.

ශබ්දය පිළිබඳ රූසෝගේ අර්ථයෙන් බැලුවොත් අපට පවත්නා සමාජ සම්මුතිය කුමක්ද? බස්වල සිංදු දැමීමෙන් මගීන්ට සිදුවන අකරතැබ්බය මෙහිදී සලකා බැලිය හැකියි. එමෙන්ම වෙඩින්වලට ගියාම ඩී.ජේ හෝ සංගීත කණ්ඩායම් සංගීතයත් එහෙමයි. අන්දරේගේ බිරිඳ සහ රජ බිසව ගේ කතාව වගේ එකට මේසෙ අනිත් පැත්තෙ ඉන්න කෙනා එක්ක කතා කරන්නත් බෙරිහන්දෙන්න සිද්ධවෙනවා. ලංකාවේ පංතිභේදයකින් තොරව සියලු හෝටල්වල මේ තත්ත්වය අත්දැකිය හැකියි.  ට්‍රැක් 26ක් විතර තියෙන අයි මැක්ස් එකේ චිත්‍රපටයක් බලන්න ගියාමත් ෆෝන් රිංග්වෙලා කරදර වෙනවා. නීති සම්පාදනය කොට පොලීසිය මැදිහත්වී කරන පාලනයක් නොව අපගේ හඬ සහ අනෙකා පිළිබඳ සමාජ සම්මුතියක අවශ්‍යතාව මෙතන තියෙනවා. මන්දයත්  අධිකාරිත්වයක් තුළට ගිය විට නිහඬ බව රැකීමට අප සියලුදෙනා දන්නා නිසයි. අධිකරණය, පන්සල වගේ තැන් එහෙමයි. එ් තැන්වල නිහඬයි. නිහඬතාව සමඟ පිරිසිදුකම, බුද්ධිමත්භාවය වැනි සංකල්පද බැඳී තියෙනවා. අනෙක් අතට එය ආධ්‍යාමිකභාවයත් එක්ක බැඳෙනවා. මෙම තැන් සම්බන්ධයෙන් අප විවේචනාත්මක විය යුතුයි.

ශබ්දය වඩා වූ දෙයක් (something more than) බවට පත්වීමක් තියෙනවා. එය මනෝවිශ්ලේෂණාත්මක අදහසක්. පොලිස් සයිරන් නලා හඬක්, වෝකිටෝකියක හඬක් ඇහුණු ගමන් වරදක් කළාද දන්නෙ නෑ කියන හැඟීමක් එනවා. අකටයුත්තක්, අපරාධයක් පිළිබඳ කුකුසක් දැනෙනවා. අපට වඩා වූ දෙයක් බවට පත්වීම නිතැතින් සිදුවෙනවා.  කටහඬ වුණත් එහෙමයි. වම්මුන්ට කෑගැහුවෙ නැතිනම් ප්‍රශ්න එන්නෙ නැති තරම්. අනුර කුමාර මේ ගැන සවිඥානකයි. එයා  ටිල්වින් ගාණට යන්නෙ නෑ. අනුරගේ හඬපාලනය යනු ලංකාවේ මධ්‍යම පංතියේ සවුන්ඩ් පරාසය කියලයි මට හිතෙන්නෙ. වමෙන් ආව කෙනෙක් විදිහට ලංකාවේ මධ්‍යම පංතිය වමට දිනා ගැනීම පහසු නෑ. වමේ හඬට වඩා වූ දෙයක් අනුරගෙ හඬට තිබීම වටහා ගන්න හැකි සංදර්භය ඒකයි. වානිජ ධනවාදයේ හඬ වසඟකාරී දෙයක් බවට පත්කර තිබෙනවා.

මාක්ස්ට අනුව නම් වාස්තවික ලෝකයේ අතිරික්තය සමඟ බැඳුණු උත්කර්ෂයයි. ප්‍රොයිඩ් කතා කරනු ලැබුවේ අපගේ ආත්මීය ලෝකයේ පවත්නා (අවිඥානයේ) අතිරික්තයයි. මේ දෙකම සමඟ ගනුදෙනු කරන්නේ ඇඩිවර්ටයිංසිකරුවන්. ඒ සඳහා අලුත් සමස්තයක් සෑදිය යුතුයි. එහෙම නැතිව ප්‍රාග්ධනය සමුච්චනය කරන්න බෑ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT