Home » පොඩි අතුලගෙ සිට වික්ටර් අයිවන් දක්වා

පොඩි අතුලගෙ සිට වික්ටර් අයිවන් දක්වා

by Gayan Abeykoon
January 22, 2025 1:25 am 0 comment

කළ්යා පෙරේරා
ඡායා රූ- රවීන්ද්‍ර පුෂ්පකුමාර

යිවන් අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇත. ඕනෑම කෙනෙකුගේ වියෝව, මරණය ඔහුව හඳුනාගෙන  සිටි සමීපතමයන්හට වේදනාවක් ඇතිකරවයි. දශක හතරකට වැඩි කාලයක් තුළ ලාංකීය දේශපාලනයේ විශේෂයෙන් මාධ්‍ය තුළින්  අයිවන් සිදුකළ මැදිහත් වීම, හා ඒ සඳහා ඔහු කළ  බලපෑම සුවිශේෂී ය.

වාමාංශික දේශපාලනය පොදුවේ ගත්කල ලාංකීය සමාජය තුළ හඳුනා ගැනෙනුයේ, කිසියම් ශාස්ත්‍රීයව, න්‍යායිකව, පුද්ගලවාදයෙන් අඩු පොදුබවේ වටිනාකම් සහිත අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරන, සත්‍යවාදී මිනිසුන්ගේ එකතුවේ ගණයක් ලෙස ය. ලංකාවේ පැරණිම පක්ෂයවන සමසමාජ ව්‍යපාරයෙන් පටන්ගෙන වර්තමාන එන්පීපී එක දක්වා මෙම වටිනාකම් අපට පොදුවේ අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

1965 දී එම වාම ඓතිහාසිකත්වයෙන් පෙකණිය කපාගත් උරුමක්කාර සංවිධානයක පුරුකක් වු වික්ටර් අයිවන් පසුව ඉන් ඉවත්ව වෙනත් දේශපාලන ධාරාවන් ඔස්සේ තම අදහස් මාධ්‍ය ලෝකයේ නව වෙනස්කම්වලට ලක්කරවමින් ගවේෂණය කරමින් ඔහුගේ අවසාන කාල පරිච්ඡේදය දක්වාම කටයුතු කළේ ය. ඔහු ප්‍රාර්ථනා කළ  නව දේශපාලන සංස්කෘතික ශ්‍රී ලංකාවක් වෙනුවෙන්, යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් පිරිසිදු අධිකරණ  පද්ධතියක් වෙනුවෙන්, වරෙක දේශපාලන අධිකාරිය සමඟ එකතුවෙමින් මෙන්ම ගැටෙමින් කටයුතු කළ  නොසැලෙන මිනිසෙකු ලෙස පෙනී සිටියේ ය.

1977 න් පසු බිහිවූ එජාප පාලනයේ අත්තනෝමතික දූෂිත,මැරකම්වලට ඔහු විරුද්ධ වෙමින් සිටගත් අතරම  එම ක්‍රියා හා බැඳුණු දේශලපාලන ආර්ථිකය වඩාත් පැසසුමට ලක් කළේ ය. එහි කූඨප්‍රාප්තිය සිදුවන්නෙ 2024  ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු  පෙනී සිටීමයි.  එජාප ප්‍රේමදාස නායකත්වයට එරෙහි අභ්‍යන්තර කැරැල්ලේදී, ලලිත් – ගාමිණී – ප්‍රේමචන්ද්‍රගේ නායකත්වය වෙනුවෙන් ඔහු උපරිම මැදිහත්වීමක් සිදු කළේ ය. චන්ද්‍රිකා ජනාධිපති කරවීම වෙනුවෙන් 1994 දී එතෙක් පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂ  සිරිමා බණ්ඩාරනායක වෙනුවට ‘ අම්මා වෙනුවට දුව’ යන්න තේමා කොට ගත් ඡන්ද ව්‍යපාරයට සැලකිය යුතු මෙහෙයුමක් අයිවන් විසින් තම මාධ්‍ය ප්‍රවීණත්ව භාවිතාව උපරිමයෙන් යොදවා දායකත්වය දැක්වී ය.

දේශපාලනය මුල්කොටගත් සමාජ සංස්කෘතික කැළඹිලි වලට අන් කිසිදු මාධ්‍යකරණ  ආයතනයක් හෝ  පුද්ගලයකු මැදිහත් නොවන නව ආකාරයේ අදීන මැදිහත්වීමක් ඔහුගෙන් සිදුවිය. ඒ බව ඔහු  හැම තැකදීම තමන් විසින්ම ලියාගෙන තිබුණි.  1979 ගාල්ලේ පැවති අතුරු මැතිවරණයේදී විශේෂයෙන් ජවිපෙ අපේක්ෂකයා වූ ලයනල් බෝපගේට එරෙහිව එක්වරම සමසමාජ පක්ෂයෙන් මතුව 71 අරගලයේදී ජවිපෙන් ඉවත්වූ ජවිපෙන් ද්‍රෝහීන් ලෙස හැඳින්වු පිරිස් ඒකාබද්ධ කරමින් වේදිකාවල තම සතුරු අනෙකා ජවිපෙ පමණක් කරගනිමින් තරඟ වැදීමට ඉදිරිපත් විය. එහිදී ඔහුගේ අරමුණ  වී තිබුණේම තමන් අතීතයේ නියොජනය කළ ජවිපෙ සංවිධානය සමඟ ඇතිකරගත් ආරෝව ඉදිරියට ගෙන පුද්ගලවාදී ලෙස එයට පහරදීමේ තදබල උවමනාවයි. එය දේශපාලන  අපරිණත්වයේ ලක්ෂණයක් විය. අනෙක් අතට ඔහුගේ මෑත ඉතිහාසය දක්වා  කොතරම් නම් දේශපාලන පරිණතකම් තිබුණද සමහර  ඒවා පුද්ගලවාදිත්වය තුළ අඩස්සි ගතවූ දේශපාලන ක්‍රියා බවට නිතැතින් පත්විය.

තමන් බලයට පත්කළ  චන්ද්‍රිකා සමඟද ඉතා කෙටි කලක් තුළ එවන් අඩස්සිගත දේශපාලන ක්‍රියාවලට ඔහුගේ මූලිකත්වය ලැබිණි. එය අවසන් වන්නේ  ඔහු පෙනීසිටි ප්‍රගතිශීලී අස්ථානයන් වෙනුවට එම ආස්ථානයන්  උල්ලංඝණය වෙන පසුගාමී හරයාත්මක ඉදිරිපත් කිරීම් සහිත ‘චෞර රැජින’ නැමැති කෘතිය ජනගත කිරීමෙනි. 1971 න් ජවිපෙන් වෙන්ව පසුව එම සංවිධානය  සමඟ පටන්ගත් අරෝවේ අවිඥනිකත්වය  2024 දක්වාම ඇදී ඒම තුළ, ඔහුම දශක ගාණක් පොර බැදූ නව දේශපාලන සංස්කෘතික වෙනස් කමකට පෙළ ගැහෙන මොහොත පුරෝකථනය කර ගැනීමට නොහැකිවීමේ බාධාව ඔහුට අභිමුඛ විය.

රාවය සඟරාව ටැබ්ලොයිඩ් පුවත්පතක් බවට පත්කොට අබණ්ඩව එය පවත්වාගනිමින් දේශපාලන සවිඥානික පාඨක පිරිසක් ගොඩනඟමින් තවත් විටෙක එය  සමාජ ව්‍යාපාරයක් බවට පත්කරගත් අවස්ථා ලාංකීය ඉතිහාසයේ තිබේ.  දේශපාලන කුණාටු හමුවේවත් නොසැළුණු රාවය එක්වරම එහි අභ්‍යන්තර පරිපාලනයේ දෙදරා යෑමකටත් වග කිව යුත්තා වූයේ රජ්‍යයේ සුපිළිපන් භාවය ගැන කතාකළ අයිවන් මහතාවීමේ පැරඩොක්සියක් වී ඇත. ඥාති සංග්‍රහයත්, උසාවි ඛේදවාචකයත්, මුදල් අවභාවිතා  ගැනත් වචන මිලියන ගණන් ලියූ අයිවන් මහතා මිය යනවිට ගල්කිස්ස උසාවියේ අවසන් නඩු තීන්දු දිනය ප්‍රකාශයට පත්වෙනු ඇත්තේ කුමන ඉතිහාස සරදමක් මතද?

අයිවන් හා ඔහු සෑම විටම නියෝජනය කිරීමට උත්සාහ කළ දේශපාලනයේ අවසාන පෙනීසිටීම කොතරම් සුජාත කිරීමට උත්සාහ කළද, ඉහත අවරගණයේ ක්‍රියාවල උභතෝකෝටිකය අපට පෙන්වන්නෙ ඔහුගේ දේශපාලන  දෘෂ්ටිවාදාත්මක නියෝජනයේ  සටහන්ය. සමාජයක් විසින් පුද්ගලයකු කිසියම් ප්‍රමාණයකට ඔසවා තැබීමේදී, එම පුද්ගලයා, සමාජය ඔහුට දෙන ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් තමන් තමන්ව අධිතක්සේරු කරගත්විට ඔහු අහස් සැරිසරන්නකු වීම අනිවාර්යයෙන් සිදුවේ. අයිවන් විසින් එම වරද ඔහු විසින් ඔහුටම කරගත් බවක් පෙනේ. සියල්ලෙහිම පෙරටුගාමී පුරෝකථකයා වීමේ අයිතිය ඔහු ඔහුටම හිමි කරගත්තේය. එම අයිතිය හරහා ඔහු ඒකමාන දැඩි ඊනියා  සංවර්ධනවාදියකු ද විය. තිරසරභාවයක පැවැත්මක් වෙනුවට ඔහුගේ යෝජනා නිතැනින්ම ගලා අවේ නව ලිබරල්වාදයේ කරවටක් දමාගත් උර චක්‍රමාලාවක්ද සමඟය. එනයින් ඔහු සබුද්ධිකව එහි නියෝජිතයා ලෙස රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස තෝරගත්තේය. එතැන් පටන් ඔහුගේ තාර්කික බුද්ධියට වඩා මතුව ආයේ පීඩාකාරී කුමන ක්‍රමයකින් හෝ උපයෝගිතාවාදීව කරන මැදිහත් වීමකින් රටේ හුදු ආර්ථිකයටම පමණක් නාභි ගතකරගත් තෝරාගැනීමකි. ප්‍රශ්නය නම් දශක ගාණක් පුරා සමාජයට මාලිමාවක් වූ අයිවන් අවසානයේ පැවති මජර ක්‍රමය අනුමත කිරීමක් වෙනුවෙන් වෙනස් වෙමින් තිබුණු දේශපාලන සංස්කෘතික භූමිය හඳුනාගැනීමේ අසමත් කමින් සිටි බවයි. අවසානයේ ඔහු අහස් සැරිසරන්නකු වුවද, පොළොව උරුම කරගන්න්නා ඔහුගේ නිසල දේහයට ගෞරවාන්විත සමුදීමක් කළ යුතුය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT