Home » රෙදිපිළි කර්මාන්තයේ නව්‍යකරණය හා තරගකාරීත්වය ඇතිකිරීමට JAAF, GTEX සමඟ එක්වෙයි

රෙදිපිළි කර්මාන්තයේ නව්‍යකරණය හා තරගකාරීත්වය ඇතිකිරීමට JAAF, GTEX සමඟ එක්වෙයි

by sachintha
January 22, 2025 1:11 am 0 comment

ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක්වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන මෙම වැඩසටහන රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය සඳහා චක්‍රීය ආර්ථික ව්‍යාපාර ආකෘති පිළිබඳ වැඩමුළුවකින් මෙන්ම පුහුණුකරුවන් සඳහා වන දින 2ක පුහුණු සැසියකින් ද සමන්විත විය.

පසුගිය දෙසැම්බර් 16 සිට 19 වන දින දක්වා පැවති මෙම සමුළුවේදී 90ක පමණ පිරිසක් වෙත රෙදිපිළිවල චක්‍රීය ආර්ථිකය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. විශේෂයෙන් චක්‍රීය ආර්ථිකය වෙනුවෙන් සැලසුම් කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් වන සැපයුම් ඉහළ නැංවීම සහ රෙදිපිළි ප්‍රතිචක්‍රීයකරණයේ ඉහළ තාක්ෂණයන් හා තත්ත්ව ප්‍රමිතීන් ගවේෂණය වැනි මාතෘකා යටතේ ප්‍රධාන සැසි කිහිපයක් එහිදී පැවැත්විණ. මෙම දැනුම්වත් කිරීම්හි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව ගෝලීය තිරසර රෙදිපිළි ව්‍යාපාරයේ ප්‍රමුඛ රටක් බවට පත් කිරීමයි.

ශ්‍රී ලාංකේය විද්වතුන්, රෙදිපිළි වෘත්තිකයින් හා රාජ්‍ය නියෝජිතයින් 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති පුහුණුකරුවන්ගේ පුහුණු සැසියෙන් ආරම්භ වූ මෙම වැඩසටහන දේශීය වශයෙන් දැනුම ඉහළ නැංවීම තුළින් රට පුරා චක්‍රීය භාවිතයන්හි ප්‍රමාණය හා තිරසරබව සහතික කිරීමට සමත් වනු ඇත. එසේම 2025 GTEX වැඩසටහන තුළදී නව්‍ය ව්‍යාපාර ආකෘතිය වඩා පුළුල් අයුරින් භාවිත කිරීමේ හැකියාව ලබා දෙමින් කර්මාන්ත වෘත්තිකයින් හා සිසු සිසුවියන් 500ක දෙනෙකු වෙත පුහුණුව ලබා දීමටද සැලසුම් කොට ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ITC හි තන්තු, රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ප්‍රධානී Matthias Knappe සඳහන් කර සිටියේ “තිරසරත්වය යනු අවශ්‍යතාවකි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළ තුළ තරගකාරීව සිටීමට අවශ්‍ය දැනුම ලබා දෙමින් සිටින අතර චක්‍රීය ආර්ථිකය සඳහා වන හදිසි අවශ්‍යතාව සපුරා ගැනීමට උපකාර කරනවා” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT