අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් යළි දිවුරුම් දුන්නේය. මෙය ගෝලීය දේශපාලනය තුළ අතිශය සුවිශේෂ සංසිද්ධියකි.
හැත්තෑ අට හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තනතුරේ දිවුරුම් දුන්නේ දෙවැනි වතාවට ය. ඔහුගේ පදවිප්‍රාප්තිය පිළිබඳ උත්සවය ජාත්‍යන්තර ජනමාධ්‍යවල ඉහළ වැදගත්කමකින් යුතුව වාර්තා කෙරිණි. ඊට හේතුව, මින් ඉදිරියට ලෝක දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් සාධකය අතිශය වැදගත් වීමය.
“අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස විශ්වාසවන්තව කටයුතු කරන බවටත්, මාගේ උපරිමයෙන් එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් දිවුරා පොරොන්දු වෙමි” යනුවෙන් ඔහු බයිබලය මත අත තබා දිවුරා පොරොන්දු වූයේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම සඳහා භාවිත කළ බයිබලය පිළිබඳව ද ප්‍රවෘත්ති නිර්මාණය වී තිබිණි. අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් වර්ෂ 1861 දී භාවිත කරන ලද බයිබලය ද ට්‍රම්ප්ට ඔහුගේ මව විසින් දෙනු ලැබූ බයිබලයක් ද ඒ සඳහා භාවිත කළ බව කියවිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආගමික සම්බන්ධය ඒ අනුව මැනවින් පැහැදිලි වේ. එය හුදෙක් තනි සිදුවීමක් නොව, ඔහුගේ ආගමික, දේශපාලනික භාවිතය සහ ආගමික අන්තවාදය පිළිබඳ ඔහුගේ ඇති හැඟීම ද කියවා ගැනීමට අදාළ සාධකයකි.
මේ අතර ට්‍රම්ප් බලයට පත් වූ වහා විධායක නියෝග දෙසීයකට අත්සන් තැබූ බවත්, හිටපු ජනපතිවරයා විසින් කරන ලද ක්‍රියාකාරකම් කිහිපයක් අත්හිටුවීමට කටයුතු කළ බවත් ප්‍රවෘත්තිවල සඳහන් විය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතුවක්කාරී දේශපාලනික තීන්දු සහ ඔහුගේ දේශපාලනික භාවිතය පිළිබඳ කිසියම් අවබෝධයක් ලැබීමට මේ සාධක ප්‍රමාණවත් ය.
ඔහුගේ පළමු ධුර කාලයේදී ඔහු විසින් කරන ලද බොහෝ දේශපාලනික ක්‍රියාකාරකම් සමඟ ද ඔහුගේ දේශපාලනික අනාගතය පිළිබඳව කියවා ගැනීම වඩාත් වැදගත් වනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය අමෙරිකානු ජනතාව උත්සවශ්‍රීයෙන් සැමරූ බව ද, එයට ලොව ප්‍රකට ආරාධිතයන් රැසක් සහභාගි වූ බව ද ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.
“අමෙරිකාවට පළමු තැන” යන්න ඔහු විසින් ස්වකීය මැතිවරණ ව්‍යාපාරයේදී භාවිත කළ දේශපාලනික සටන් පාඨය වන අතර, ඔහුගේ ඉදිරි දේශපාලනික භාවිතය ද ඒ මත තීරණය වනු ඇත. මෙමඟින් යම් තරමකට හෝ කියවාගත හැක්කේ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ යම් වෙනසක් ඇති විය හැකි බවත්, යුද්ධය සහ අවිනිශ්චිතතාවෙන් යුක්ත ලෝකයේ සමහර ජනකොටස්වල සැලකිය යුතු මට්ටමේ වෙනසක් ද ඇති විය හැකි බවයි. රුසියාව සහ යුක්රේනය අතර ඇති යුද්ධය එක් දිනකින් අවසන් කළ හැකි බවට ඔහු විසින් ස්වකීය මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී කරන ලද ප්‍රකාශය මේ සඳහා කදිම සාක්ෂියකි. යුද්ධය වැනි ක්‍රියාවලියක් නිසා අමෙරිකාවේ සම්පත්, ශීඝ්‍රයෙන් ක්ෂය වීම වැළැක්වීමට නම් යුද්ධය අවසන් කළ යුතු බවට ඔහු එමඟින් අවධාරණය කර තිබිණි.
ගෝලීය යුද ක්‍රියාවලිය, මැදපෙරදිග අර්බුදය, තෙල් සම්පත පිළිබඳ ගැටලුව, කලාපීය භූ දේශපාලනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනාගත ක්‍රියාකාරකම් යනාදිය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය හා බැඳුණු ඍජු දේශපාලනික කාරණා වේ. මේ පිළිබඳ විමසිල්ලෙන් සහ සක්‍රියව සිටීම ලෝකයේ සෙසු රටවලට වැදගත් වනු ඇත. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරෙක ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී තිබුණේ ඔහු මෙතෙක් ධවල මන්දිරයට පැමිණි ඊශ්‍රායලයට සිටි හොඳම මිතුරා බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය හඳුන්වා දී තිබුණේ උපායමාර්ගික තරගකරුවකු ලෙසිනි.
ඉහත ප්‍රවෘත්තිමය සිදුවීම් යළි උපුටා දැක්වූයේ ඒ පිළිබඳ දේශපාලනික අවබෝධය ශ්‍රී ලංකාවට ද අතිශයින් වැදගත් වන හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ ගනුදෙනු කිරීමේදී අමෙරිකානු සාධකය අතිශය වැදගත් වනු ඇත. එය කලාපීය දේශපාලනය තුළ ඉන්දීය සාධකය සහ චීන සාධකය තරමටම වැදගත්ය. ඒ නිසා අමෙරිකානු ජනපතිවරයාගේ පදවිප්‍රාප්තිය පිළිබඳ සිද්ධිය කිසියම් වූ දේශපාලනික ප්‍රවේශයක් මත අවබෝධ කොට ගැනීම වැදගත් වනු ඇත.
වරෙක “ලෝක පොලිස්කාරයා” යැයි හැඳින්වූ අමෙරිකාව පිළිබඳ ශ්‍රී ලාංකේය ජනතාව තුළ කිසියම් අවබෝධයක් ඇත. මන්ද යත්: ඊළඟ සිවු වසර තුළ ගෝලීය දේශපාලනය සහ ලෝක දේශපාලන බලතුලනය පිළිබඳ ක්‍රියාවලිය සඳහා ද ලෝකයේ සෙසු රටවලට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමේ ක්‍රියාවලිය තුළ ද අමෙරිකානු සාධකය බැහැර කළ නොහැක්කක් වන හෙයිනි.
ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ඉන්දීය සාධකය, චීන සාධකය සහ අමෙරිකානු සාධකය යන සාධක තුනටම ඇති වටිනාකම් සුවිශේෂ වන අතර, ඒවා න්‍යායාත්මකව, ප්‍රායෝගිකව හා උපායමාර්ගිකව කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව වඩාත් සුවිශේෂ දේශපාලනික කාරණයක් වනු ඇත.
එහෙයින් අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය හුදු ප්‍රවෘත්තිමය අර්ථයෙන් ඔබ්බට ගොස් කියවා ගැනීමට අපි කැමැත්තෙමු.