කිසිදු අධිකරණ නියෝගයක් හෝ කථානායකවරයාගේ උපදෙස් නොමැතිව තමාගේ ගමන් බිමන් තහනම් කර ඇති බවට ආගමන විගමන බලධාරීන් තමන්ට දැනුම් දීම හිතාමතාම සිය වරප්‍රසාද කඩකිරීමක් බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
විදෙස් සංචාරයක් සඳහා සහභාගි විමට ගුවන්තොටුපොළ වෙත ගිය තමාට ගුවන්තොටුපොළ නිලධාරින් බාධා කළ බවත් ඒ හේතුවෙන් සිය වරප්‍රසාද කඩවූ බවත් ශ්‍රීධරන් මහතා කීය.
එස්.ශ්‍රීධරන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්දීයාවට පිටත්ව යාම සඳහා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින් තමන් අපහසුවට පත්වන අයුරින් කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ අවධානයට යොමුකරන බවත් හෙතෙම පැවසීය.
එස් ශ්‍රීධරන් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
“පසුගිය 11 සහ 12 දෙදින තුළ තමිල්නාඩු රජය විසින් චෙන්නායි හිදී සංවිධානය කරන ලද තමිල්නාඩු දින උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට කළ ආරාධනය පිළිගෙන මම පසුගිය 10 වැනිදා කටුනායක ගුවන්තොටුපළ හරහා ඉන්දියාව බලා ගියා. එදින සවස 6.35ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 123 දරණ ගුවන් යානය ගුවන්ගත වීමට සූදානම් වන විට ගුවන්තොටුපළ නිලධාරීන් මට දන්වා සිටියේ මගේ විදේශ ගමන් බලපත්‍රයේ දෝෂයක් ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට ලක් කරන බවයි.
මා සමඟ ගමනේ යෙදුණු රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ උත්සාහයට පින්සිදු වන්නට මට ගුවන් යානයේ අවසන් මොහොතේ ගමන යාමට අවසර ලැබුණේ දීර්ඝ කරුණු විමසීමකින් පසුවයි.