යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාට ගුවන්තොටුපොළේදී ඇතිවූ සිදුවීමට රජයේ කිසිදු සම්බන්ධයක් හෝ මැදිහත්වීමක් නොමැති බවත් ගුවන් තොටුපළේදී ශ්‍රීදරන් මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයාට ඇතිවූ අපහසුතාවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී ඇති බවද ඇමතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අතර ඊට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මතුකළ වරප්‍රසාද කඩකිරීමේ ප්‍රශ්නය පිළිබඳව අපි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. සිදු වූ දේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කටුනායක ගුවන්තොටුපළ අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව සොයා බලන ලෙස අපි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට ද දැනුම් දී තිබෙනවා.
මේ සිද්ධියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම පදනම් විරහිතයි. ඔහු ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණ කිසිම තැනක ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නැහැ. ඒ විදියට මේ ප්‍රශ්නයට රජයේ මැදිහත්වීමක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයක් සහ ප්‍රතිපත්තියක් රජයට නොමැති නමුත් නව නීතියක් සම්පාදනය කරන තෙක් පවතින නීතිය ප්‍රවේශමෙන් ක්‍රියාත්මක කළ යුතුයි.