කුමන බාධා පැමිණියත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාවට නංවන බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. තුනෙන් දෙකක ජනතා බලයක් ආණ්ඩුව සතුව පැවතිය ද, ආණ්ඩුවේ සියලු නියෝජිතයන් නීතියේ ආධිපත්‍යයට යටත් නිසා කිසිදු නීති විරෝධී කටයුත්තක් කිරීමට නොහැකි බවත්, හොරු ඇල්ලීම සඳහා සාධාරණ කාලයක් ආණ්ඩුවට අවශ්‍ය බවත් ඇමැතිවරයා පැවසුවේය. ක්ලීන් ශ්‍රී ලංකා විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
ත්‍රීවීලර්වල කෑලි ගැලවීමත්, බස්වල කෑලි ගැලවීමත් ලඝු කරන්න උත්සාහ කළා. නමුත් එතැනින් එහාට ගිය වැඩසටහනක් ගැන කිව යුතුයි. කුමන බාධාවක් පැමිණියත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අල්ලස් දෙන එකත් වැරදියි. ගන්න එකත් වැරදියි.
මේවා ක්ලීන් කළ යුතුයි. මන්ත්‍රී ධුරයක් දෙන්නම් කියලා රුපියල් කෝටි 50 ක් ලබා දී තිබෙනවා. ඒවා ගත්තේ කවුද, බෙදා ගත්තේ කවුද කියලා අපි දන්නවා. අධිකරණ පියස අපි විවෘත කළා. චීන සමූහාණ්ඩුව යටතේ මේ ගොඩනැඟිල්ල සාදා ජනතාවට බාර දුන්නා කියන කාරණාව පමණයි ඒ සමරු ඵලකයේ තිබෙන්නේ. පසුගිය ආණ්ඩු තුළ කළේ ගොඩනැඟිල්ල වැහෙන්න සමරු ඵලකය ගහනවා. අපි ඒක වෙනස් කළා.
ක්ලීන් කරන්නේ මොනවාද කියලා විපක්ෂය අහන නිසයි මේවා කියන්නේ. කෝ හොරු ඇල්ලුවාද කියලා දැන් අහනවා. අපිට බලය තිබුණත් නීතියේ ආධිපත්‍යයට අපි යටත්.