ඉකුත් රාජ්‍ය පාලන සමයන්හිදී දේශපාලනිකව බලපුළුවන්කාරකම මත යටපත් කරන ලද වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ ෆයිල් 29,000කට අධික ප්‍රමාණයක් පවතින බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය.
මේ සා විශාල වංචා, දූෂණ ප්‍රමාණයක් පිළිබඳ ලිපි ලේඛන නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව යටපත් කර තැබීම විමතිය දනවන කාරණයකි. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ කරන ලද මෙකී හෙළිදරවුවේ සමාජ වගකීම පිළිබඳව අපි තවදුරටත් සොයා බලමු.
වංචා, දූෂණ, අක්‍රමිකතා, අපරාධ, වත්කම් අයථා පරිහරණය යනාදි කරුණු දේශපාලන වේදිකාවේ ඉතා සුවිශේෂ වැදගත්කමක් ඇති මාතෘකා වේ. ගෙවුණු සෑම මැතිවරණයකදී ම මෙකී දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ කරුණු දේශපාලනික වේදිකාවේ ඉතා ඉහළින් කතාබහ වූ බවක් දක්නට ලැබිණි. කෙසේ නමුත් මැතිවරණවලින් පසුව බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් එකී දූෂණ, වංචා සිදු කළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවක් අපේ මතකයේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ දූෂිතයන් සහ වංචාකරුවන් යැයි නම් කරනු ලැබූ පිරිස් සමඟ ම සහයෝගිතා දේශපාලනයේ යෙදෙමින් ආණ්ඩු කිරීමය.
එහෙත් දැන් ඉතිහාසයේ පළමු වරට එකී දූෂිතයන් හා වංචාකරුවන් කවුරුන් දැයි හෙළිදරවු කරගෙන, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පසුබිම සකස් කරන බවක් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් හඳුනාගත හැකිය.
වංචාවක් යන්නෙන් අදහස් වන්නේ තමාගේ, ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ අභිවෘද්ධිය උදෙසා අසාධාරණ හෝ නීති විරෝධි ලෙස වාසි ගැනීම සඳහා හිතාමතා සිදු කරනු ලබන ක්‍රියාවලියකි. මෙය මූලික ස්වරූප තුනකින් සිදු විය හැකිය.
වංචාවේ පළමු පියවර වන්නේ දූෂණයයි. දෙවැන්න වත්කම් අයථා පරිහරණයයි. තෙවැන්න වංචනික ප්‍රකාශ වේ. දූෂණය සහ වංචාව පිළිබඳ තවත් න්‍යායාත්මක අර්ථකථන රැසක් පැවතිය හැකිය.
දූෂණය යන්නෙන් අදහස් කෙරෙන්නේ රාජ්‍ය නියෝජිත ආයතන, තනි රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික සමාගම් සහ පෞද්ගලික සමාගම්වල සේවකයන් ඇතුළු ඕනෑම පුද්ගලයකු හෝ සංවිධානයක් විසින් යමක් කිරීමට හෝ යමක් කිරීමෙන් වැළකී සිටීමට ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම පිණිස ඕනෑම ගෙවීමක්, සේවාවක්, තෑග්ගක්, ණයක්, ගාස්තුවක්, ප්‍රදානයක් හෝ වටිනාකමක් ඇති ඕනෑම දෙයක් ඍජු හෝ වක්‍ර ආකාරයෙන් පුද්ගලයකුට පිරිනැමීම හෝ ඕනෑම පුද්ගලයකුගෙන් ලබා ගැනීමයි. එමෙන් ම දූෂණය යන්නට ළැදියා ගැටුම්, ආර්ථික කප්පම් ගැනීම් සහ නීති රෙගුලාසි සම්ප්රදාය, සංස්කෘතිය හෝ වෙළෙඳපොළ හැසිරීම මඟින් අවසර දී නැතිනම් රජය හෝ පෞද්ගලික සංවිධානවලට දෙන නීති විරෝධී පාරිතෝෂික ද ඇතුළත් වේ.
වත්කම් අයථා පරිහරණය යන්නේ අදහස් කෙරෙන්නේ මුදල් හා මුදල් නොවන වත්කම් ඇතුළු පෞද්ගලික හෝ වෙනත් වාසි සඳහා රාජ්‍ය සතු වත්කම් අවස්ථා හෝ වෙනත් ප්රතිලාභ අහිමි වීමට හේතු වන වත්කම් අනීතික ලෙස සන්තකයේ තබා ගැනීමට තුඩු දෙන ඕනෑම ක්‍රියාවලියකි.
වංචනික ප්‍රකාශ යන්නෙන් අදහස් කෙරෙන්නේ මූල්‍ය වාර්තා හිතාමතා විකෘති කිරීමේ ක්‍රියාවලියයි. උදාහරණයක් ලෙස: මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය වාර්තා කිරීම් හෝ මූල්‍ය නොවන වාර්තා, ඒ වාර්තාවල වැරදි ප්‍රකාශ ඇතුළත් කරමින් පෞද්ගලික හෝ වෙනත් අයගේ අවශ්‍යතා සඳහා වත්කම් හෝ ක්‍රියාකාරකම් අයථා ලෙස පරිහරණය කිරීම මේ තොරතුරු සඟවා තැබීමයි.
වංචාව හා දූෂණය පිළිබඳ ඉහත න්‍යායාත්මක ප්‍රකාශ උපුටා දැක්වූයේ ඒ පිළිබඳ යම් කිසි අවබෝධයක් ලැබීමට ය. අතිශය සරල අර්ථකථනය නම් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එහෙත් වංචාව හා දූෂණය පිළිබඳ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි එපමණ ප්‍රමාණයක් යටගැසීම සම්බන්ධ ක්‍රියාවලියෙන් අවබෝධ වන්නේ එකී දූෂණ, වංචා සඳහා රාජ්‍ය දේශපාලනයේ සහ නිලධාරි පෙළැන්තියේ සහාය ලැබී ඇති බවයි.
අල්ලස් කොමිසම විසින් පනවනු ලබන විවිධ නඩු තාක්ෂණික දෝෂ සහිත ක්‍රියාවලින් සමන්විත වීමෙන් ද තීරණය වන්නේ මේ කාරණයයි. එනම්: දූෂණයට සහ වංචාවට ඔවුන් ඍජුව හෝ වක්‍රව උදවු කර ඇති බව එමඟින් සනාථ වේ.
කවර තත්ත්වයක් යටතේ වුව ද මෙකී දූෂණ, වංචා පිළිබඳ ක්‍රියාවලි සමාජය හමුවේ හෙළිදරවු කළ යුතු ය.
වංචා, දූෂණ වැළැක්වීමේදී විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ 16ක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට මීට පෙර ඉදිරිපත් කොට තිබිණි. වර්තමාන රජය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්රකාශනයේ ද ඉහළ වටිනාකමකින් යුක්තව සඳහන් කොට තිබුණේ වංචාව හා දූෂණය පිටුදැකීම පිළිබඳ නිවැරැදි ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.
මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශය මඟින් පැහැදිලි වන්නේ රජය ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවකි. පසුගියදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී කළ ප්‍රකාශයෙන් ද කියැවුණේ හොරු ඇල්ලීම සඳහා නිශ්චිත නීති ක්‍රමවේදයක් සකස් කරන බවයි.
ඉහත සිද්ධි සියල්ල අපි එක තලයක තබා අවබෝධ කොට ගනිමු. නව දේශපාලන සංස්කෘතියක් සහ වෙනසක් ඇති කර ගැනීමේදී වංචාවෙන් හා දූෂණයෙන් තොර රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම ද අතිශය වැදගත් කාරණයකි.
ගත වූ කාලය මුළුල්ලේ දූෂණ, වංචා පිළිබඳව අල්ලස් කොමිසමට හෝ වෙනත් නීතිමය ආයතනයකට පැමිණිලි කර ඇති ප්‍රමාණයට වඩා, පැමිණිලි නොකර යටපත් වී ගිය සිද්ධි බහුතරයක් ඇති බව අපගේ විශ්වාසයයි. කෙසේ නමුත් දැනට ලැබී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් නීති විමර්ශන සිදු කොට, ඒ පිළිබඳ නිශ්චිත ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
එහිදී රටත්, ජනතාවත්, පොදු සමාජයේ සියලු දෙනාත් අපේක්ෂා කරනුයේ දේශපාලනික පළිගැනීම්වලින් තොරව, වංචනිකයන්ට හා දූෂිතයන්ට නීති මඟින් දඬුවම් කිරීමයි. මේ ක්‍රියාවලිය සඳහා මෙතෙක් බාධා කළ, කකුල් මාට්ටු දැමූ පුද්ගලයන් සිටී නම් ඔවුන් ද හෙළිදරවු කළ යුතු ය. ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් කළ යුතු අතර, ඔවුන් විසින් අයථා ලෙස අත්පත් කර ගන්නා ලද දේපළක් වේ නම්, ඒ පිළිබඳව ද නිශ්චිත ක්‍රියාමාර්ග ගත යුතු වේ.
වර්තමාන ආණ්ඩුව ස්වකීය ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළ කරුණු ද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කරුණු ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශය ද ප්රවෘත්තිමය වටිනාකමින් ඔබ්බට ගොස් මහ පොළොව මත යථාර්ථයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
එය මූලික වටයේ තොරතුරේ ප්‍රවෘත්තියට වඩා ඉහළ සමාජ වටිනාකමකින් යුක්තව පොදු සමාජය වැලඳ ගන්නා බව අපි ඉතා හොඳින් දනිමු.