Home » දූෂණ, වංචා ෆයිල් යට ගැහුවේ කවුරු ද?

දූෂණ, වංචා ෆයිල් යට ගැහුවේ කවුරු ද?

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

කුත් රාජ්‍ය පාලන සම­ය­න්හිදී දේශ­පා­ල­නි­කව බල­පු­ළු­ව­න්කා­ර­කම මත යට­පත් කරන ලද වංචා, දූෂණ, අක්‍ර­මි­කතා පිළි­බඳ ෆයිල් 29,000කට අධික ප්‍රමා­ණ­යක් පව­තින බව මහ­ජන ආර­ක්ෂක ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තුව හමුවේ හෙළි­ද­රවු කළේය.

මේ සා විශාල වංචා, දූෂණ ප්‍රමා­ණ­යක් පිළි­බඳ ලිපි ලේඛන නීති­මය ක්‍රියා­මා­ර්ග­ව­ලින් තොරව යට­පත් කර තැබීම විම­තිය දන­වන කාර­ණ­යකි. අමා­ත්‍ය­ව­රයා විසින් පාර්ලි­මේ­න්තුව හමුවේ කරන ලද මෙකී හෙළි­ද­ර­වුවේ සමාජ වග­කීම පිළි­බ­ඳව අපි තව­දු­ර­ටත් සොයා බලමු.

වංචා, දූෂණ, අක්‍ර­මි­කතා, අප­රාධ, වත්කම් අයථා පරි­හ­ර­ණය යනාදි කරුණු දේශ­පා­ලන වේදි­කාවේ ඉතා සුවි­ශේෂ වැද­ග­ත්ක­මක් ඇති මාතෘකා වේ. ගෙවුණු සෑම මැති­ව­ර­ණ­ය­කදී ම මෙකී දූෂණ, වංචා, අක්‍ර­මි­කතා පිළි­බඳ කරුණු දේශ­පා­ල­නික වේදි­කාවේ ඉතා ඉහ­ළින් කතා­බහ වූ බවක් දක්නට ලැබිණි. කෙසේ නමුත් මැති­ව­ර­ණ­ව­ලින් පසුව බල­යට පත් වූ කිසිදු ආණ්ඩු­වක් එකී දූෂණ, වංචා සිදු කළ පුද්ග­ල­යන් හඳු­නා­ගෙන ඔවුන්ට එරෙ­හිව නීති­මය ක්‍රියා­මාර්ග ගත් බවක් අපේ මත­කයේ නැත. ඒ වෙනු­වට ඔවුන් කළේ දූෂි­ත­යන් සහ වංචා­ක­රු­වන් යැයි නම් කරනු ලැබූ පිරිස් සමඟ ම සහ­යෝ­ගිතා දේශ­පා­ල­නයේ යෙදෙ­මින් ආණ්ඩු කිරී­මය.

එහෙත් දැන් ඉති­හා­සයේ පළමු වරට එකී දූෂි­ත­යන් හා වංචා­ක­රු­වන් කවු­රුන් දැයි හෙළි­ද­රවු කරගෙන, ඔවුන්ට එරෙ­හිව නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට අදාළ පසු­බිම සකස් කරන බවක් අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රකා­ශ­යෙන් හඳුනාගත හැකිය.

වංචා­වක් යන්නෙන් අද­හස් වන්නේ තමාගේ, ඥාතීන්ගේ හෝ හිත­ව­තුන්ගේ අභි­වෘ­ද්ධිය උදෙසා අසා­ධා­රණ හෝ නීති විරෝධි ලෙස වාසි ගැනීම සඳහා හිතා­මතා සිදු කරනු ලබන ක්‍රියා­ව­ලි­යකි. මෙය මූලික ස්වරූප තුන­කින් සිදු විය හැකිය.

වංචාවේ පළමු පිය­වර වන්නේ දූෂ­ණ­යයි. දෙවැන්න වත්කම් අයථා පරි­හ­ර­ණ­යයි. තෙවැන්න වංච­නික ප්‍රකාශ වේ. දූෂ­ණය සහ වංචාව පිළි­බඳ තවත් න්‍යායා­ත්මක අර්ථ­ක­ථන රැසක් පැව­තිය හැකිය.

දූෂ­ණය යන්නෙන් අද­හස් කෙරෙන්නේ රාජ්‍ය නියෝ­ජිත ආය­තන, තනි රාජ්‍ය නිල­ධා­රීන්, පෞද්ග­ලික සමා­ගම් සහ පෞද්ග­ලික සමා­ග­ම්වල සේව­ක­යන් ඇතුළු ඕනෑම පුද්ග­ල­යකු හෝ සංවි­ධා­න­යක් විසින් යමක් කිරී­මට හෝ යමක් කිරී­මෙන් වැළකී සිටී­මට ගනු ලබන තීර­ණ­ය­කට බල­පෑම් කිරීම පිණිස ඕනෑම ගෙවී­මක්, සේවා­වක්, තෑග්ගක්, ණයක්, ගාස්තු­වක්, ප්‍රදා­න­යක් හෝ වටි­නා­ක­මක් ඇති ඕනෑම දෙයක් ඍජු හෝ වක්‍ර ආකා­ර­යෙන් පුද්ග­ල­ය­කුට පිරි­නැ­මීම හෝ ඕනෑම පුද්ග­ල­ය­කු­ගෙන් ලබා ගැනී­මයි. එමෙන් ම දූෂ­ණය යන්නට ළැදියා ගැටුම්, ආර්ථික කප්පම් ගැනීම් සහ නීති රෙගු­ලාසි සම්ප්‍ර­දාය, සංස්කෘ­තිය හෝ වෙළෙ­ඳ­පොළ හැසි­රීම මඟින් අව­සර දී නැතිනම් රජය හෝ පෞද්ග­ලික සංවි­ධා­න­ව­ලට දෙන නීති විරෝධී පාරි­තෝ­ෂික ද ඇතු­ළත් වේ.

වත්කම් අයථා පරි­හ­ර­ණය යන්නේ අද­හස් කෙරෙන්නේ මුදල් හා මුදල් නොවන වත්කම් ඇතුළු පෞද්ග­ලික හෝ වෙනත් වාසි සඳහා රාජ්‍ය සතු වත්කම් අවස්ථා හෝ වෙනත් ප්‍රති­ලාභ අහිමි වීමට හේතු වන වත්කම් අනී­තික ලෙස සන්ත­කයේ තබා ගැනී­මට තුඩු දෙන ඕනෑම ක්‍රියා­ව­ලි­යකි.

වංච­නික ප්‍රකාශ යන්නෙන් අද­හස් කෙරෙන්නේ මූල්‍ය වාර්තා හිතා­මතා විකෘති කිරීමේ ක්‍රියා­ව­ලි­යයි. උදා­හ­ර­ණ­යක් ලෙස: මූල්‍ය ප්‍රකා­ශන සහ මූල්‍ය වාර්තා කිරීම් හෝ මූල්‍ය නොවන වාර්තා, ඒ වාර්තා­වල වැරදි ප්‍රකාශ ඇතු­ළත් කර­මින් පෞද්ග­ලික හෝ වෙනත් අයගේ අව­ශ්‍යතා සඳහා වත්කම් හෝ ක්‍රියා­කා­ර­කම් අයථා ලෙස පරි­හ­ර­ණය කිරීම මේ තොර­තුරු සඟවා තැබී­මයි.

වංචාව හා දූෂ­ණය පිළි­බඳ ඉහත න්‍යායා­ත්මක ප්‍රකාශ උපුටා දැක්වූයේ ඒ පිළි­බඳ යම් කිසි අව­බෝ­ධ­යක් ලැබී­මට ය. අති­ශය සරල අර්ථ­ක­ථ­නය නම් රාජ්‍ය මුදල් හා දේපළ අව­භා­විත කිරීම දඬු­වම් ලැබිය හැකි වර­දක් බවයි.

එහෙත් වංචාව හා දූෂ­ණය පිළි­බඳ අල්ලස් කොමි­ස­මට ලැබුණු පැමි­ණිලි එප­මණ ප්‍රමා­ණ­යක් යට­ගැ­සීම සම්බන්ධ ක්‍රියා­ව­ලි­යෙන් අව­බෝධ වන්නේ එකී දූෂණ, වංචා සඳහා රාජ්‍ය දේශ­පා­ල­නයේ සහ නිල­ධාරි පෙළැ­න්තියේ සහාය ලැබී ඇති බවයි.

අල්ලස් කොමි­සම විසින් පන­වනු ලබන විවිධ නඩු තාක්ෂ­ණික දෝෂ සහිත ක්‍රියා­ව­ලින් සම­න්විත වීමෙන් ද තීර­ණය වන්නේ මේ කාර­ණ­යයි. එනම්: දූෂ­ණ­යට සහ වංචා­වට ඔවුන් ඍජුව හෝ වක්‍රව උදවු කර ඇති බව එම­ඟින් සනාථ වේ.

කවර තත්ත්ව­යක් යටතේ වුව ද මෙකී දූෂණ, වංචා පිළි­බඳ ක්‍රියා­වලි සමා­ජය හමුවේ හෙළි­ද­රවු කළ යුතු ය.

වංචා, දූෂණ වැළැ­ක්වී­මේදී විනි­වි­ද­භා­වය හා වග­වීම ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් අනි­වා­ර්ය­යෙන් ක්‍රියා­වට නැංවිය යුතු නිර්දේශ 16ක් ද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් ශ්‍රී ලංකා රජ­යට මීට පෙර ඉදි­රි­පත් කොට තිබිණි. වර්ත­මාන රජය විසින් ඉදි­රි­පත් කරන ලද ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ ද ඉහළ වටි­නා­ක­ම­කින් යුක්තව සඳ­හන් කොට තිබුණේ වංචාව හා දූෂ­ණය පිටු­දැ­කීම පිළි­බඳ නිවැ­රැදි ක්‍රියා­මාර්ග ගනු ලබන බවයි.

මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­ර­යාගේ ප්‍රකා­ශය මඟින් පැහැ­දිලි වන්නේ රජය ඒ පිළි­බඳ ක්‍රියා­මාර්ග ගැනී­මට සූදා­නම් වන බවකි. පසු­ගි­යදා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රසිද්ධ මහ­ජන රැස්වී­ම­කදී කළ ප්‍රකා­ශ­යෙන් ද කියැ­වුණේ හොරු ඇල්ලීම සඳහා නිශ්චිත නීති ක්‍රම­වේ­ද­යක් සකස් කරන බවයි.

ඉහත සිද්ධි සියල්ල අපි එක තල­යක තබා අව­බෝධ කොට ගනිමු. නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් සහ වෙන­සක් ඇති කර ගැනී­මේදී වංචා­වෙන් හා දූෂ­ණ­යෙන් තොර රාජ්‍ය­යක් නිර්මා­ණය කර ගැනීම ද අති­ශය වැද­ගත් කාර­ණ­යකි.

ගත වූ කාලය මුළුල්ලේ දූෂණ, වංචා පිළි­බ­ඳව අල්ලස් කොමි­ස­මට හෝ වෙනත් නීති­මය ආය­ත­න­ය­කට පැමි­ණිලි කර ඇති ප්‍රමා­ණ­යට වඩා, පැමි­ණිලි නොකර යට­පත් වී ගිය සිද්ධි බහු­ත­ර­යක් ඇති බව අපගේ විශ්වා­ස­යයි. කෙසේ නමුත් දැනට ලැබී ඇති ලිපි­ගොනු සම්බ­න්ධ­යෙන් නීති විම­ර්ශන සිදු කොට, ඒ පිළි­බඳ නිශ්චිත ක්‍රියා­මාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

එහිදී රටත්, ජන­තා­වත්, පොදු සමා­ජයේ සියලු දෙනාත් අපේක්ෂා කර­නුයේ දේශ­පා­ල­නික පළි­ගැ­නී­ම්ව­ලින් තොරව, වංච­නි­ක­යන්ට හා දූෂි­ත­යන්ට නීති මඟින් දඬු­වම් කිරී­මයි. මේ ක්‍රියා­ව­ලිය සඳහා මෙතෙක් බාධා කළ, කකුල් මාට්ටු දැමූ පුද්ග­ල­යන් සිටී නම් ඔවුන් ද හෙළි­ද­රවු කළ යුතු ය. ඔවුන්ගේ තරා­ති­රම නොබලා දඬු­වම් කළ යුතු අතර, ඔවුන් විසින් අයථා ලෙස අත්පත් කර ගන්නා ලද දේපළක් වේ නම්, ඒ පිළි­බ­ඳව ද නිශ්චිත ක්‍රියා­මාර්ග ගත යුතු වේ.

වර්ත­මාන ආණ්ඩුව ස්වකීය ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සඳ­හන් කළ කරුණු ද ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කළ කරුණු ද මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රයා පාර්ලි­මේ­න්තුව හමුවේ සිදු කළ ප්‍රකා­ශය ද ප්‍රවෘ­ත්ති­මය වටි­නා­ක­මින් ඔබ්බට ගොස් මහ පොළොව මත යථා­ර්ථ­යක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

එය මූලික වටයේ තොර­තුරේ ප්‍රවෘ­ත්ති­යට වඩා ඉහළ සමාජ වටි­නා­ක­ම­කින් යුක්තව පොදු සමා­ජය වැලඳ ගන්නා බව අපි ඉතා හොඳින් දනිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT