දේශපාලන කරළියේ කලින් කලට පුවත් මවන්නකු වශයෙන් ප්‍රකට හිටපු ඇමැතිවරයකු වන දොස්තර, රාජිත සේනාරත්න මහතා ඉකුත් කාලයේදී එතරම් මාධ්‍ය ඔස්සේ දක්නට නොලැබිණි. එහෙත් මේ දිනවල ඔහු නැවත දේශපාලන කපුකමකට වෙහෙසෙන බවක් අසන්නට ලැබේ. ඒ ඇතුළු කාලීන වගතුග පිළිබඳ කතා කරන්නට අපි දැන් ඔහු මුණගැසෙමු.
🔴ඔබ ඉකුත් කාලයේදී එතරම් එළිපිට දක්නට ලැබුණේ නැහැනේ?
එහෙමට දෙයක් නැහැ. මට කතා කළොත් මාධ්‍යයට එනවා.
🔴 මොකද මේ දවස්වල වෙන්නේ?
එජාපයේ අපි සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ආකාරය ගැන කතාබහ කරමින් ඉන්නවා. මුලින් අපි පක්ෂ මට්ටමෙන් වෙන වෙනම හමුවී යෝජනා සකස් කරනවා. පසුව එකම තැනකදී දෙපාර්ශ්වය හමුවී ඒවා සාකච්ඡා කරනවා. හැබැයි, මේ කලෙකට පෙර වෙන්න තිබුණු දෙයක්. ඒත්, විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊට යොමු වුණේ නැහැනේ. හැබැයි, අද එතුමාටත් මේ ඇත්ත පිළිගන්න වෙලා තියෙනවා. ඒත්, මං එතුමාට ඒ යෝජනාව වර්ෂ 2022දීයි මුලින්ම ඉදිරිපත් කළේ, තලතා අතුකෝරළ ඇතුළු 15ක ප්‍රබල කණ්ඩායමක් ඒ මතයමයි දැරුවේ. අපි දෙපිරිසේ ප්‍රතිපත්තිමය වෙනසක් නැහැ. වෙනත් තාක්ෂණික කාරණා වගයක් විතරයි පරහට හිටියේ. හැබැයි දැන් අපි තනතුරු බෙදා හදාගෙන එකතු වෙනවා. ඉතින් ඒ පාර්ශ්වය හරි නම් අපේ එජාප පාර්ශ්වය කොහොමත් හරි. ඒත් මේ වෙනුවෙන් දෙපාර්ශ්වයේ හැමෝම අව්‍යාජව ඉදිරිපත් වෙනවාද කියන්න නම් මම දන්නේ නැහැ.
අනෙක, මේ ආණ්ඩුව දිනෙන් දින පිරිහෙමින් තියෙන්නේ. දේශපාලනඥයන්, නිලධාරීන් සිරගත කිරීමෙන්වත්, ඒ එකිනෙකාගේ දේපළ රාජසන්තක කිරීමෙන්වත් ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න බැහැ. 1970දී බණ්ඩාරනායක මැතිනියත් ඒ උපක්‍රම යොදා බැලුවා. ඇයටත් 2/3ක බලයක් තිබුණානේ. ඒ කාලෙදිත් අද වගේ ප්රතිගාමීන් මර්දනය කිරීමට යෑමෙන් ආණ්ඩුවේ පිරිහීමමයි වුණේ. අන්තිමේදී 5/6ක බලයක් එක්ක ජේ. ආර්. ජයවර්ධනට ආණ්ඩු බලය දීමෙනුයි ඒක කෙළවර වුණේ. ඉතින්, මේ ආණ්ඩුවේ ඉරණමත් ඒකම තමයි.
ඇත්තෙන්ම, මෙරටට නිදහස ලැබුණුදා සිටම කෘෂිකර්මයට, කම්කරු පන්තියට විශාල වැඩ කොටසක් කළේ එජාපය, නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේත් එජාපය. නිදහස් ආර්ථිකයත් එක්ක තාක්ෂණය හඳුන්වා දුන්නේ අපි. මෙරටට ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස, මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ පනත් මෙරට සම්මත කිරීමේ පුරෝගාමියා එජාපයයි. හැබැයි, මේ සියල්ල කළත් බැණුම් අහන්නේත් එජාපයයි.
🔴ඒත් එජාපය අද කොතැනද ඉන්නේ?
එජාපය ඉකුත් මැතිවරණවලදී ඉතා නරක තත්ත්වයකට ඇද වැටී තියෙනවානේ. අපි දැන් තුන්වැනි තැන ඉන්නේ. හැබැයි, 2022දී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ තනි පුද්ගලයකු විදියට ඉඳලා ජනාධිපතිවරයා විදියටත් පත්වෙලා, ගිනි ගොඩක් මැද තිබුණු මේ රට උඩට ගත්තානේ, අනෙක, අපි තරම් ඉක්මණින් බංකොලොත් බවින් මිදුණු වෙනත් රටක් ලෝකේ නැහැ. ඒත්, පැවැති ආණ්ඩුවේ අගය පහුගිය මැතිවරණයේදී මිනිස්සුන්ට තේරුණේ නැහැ. ඒ වගේම ආණ්ඩුව බලයට ආවේත් නොයෙකුත් සුරංගනා ලෝක මවාපෑමෙන්. බොරු ගොඩක් කියලයි. හැබැයි, දැනටමත් ආණ්ඩුවට ඒ දේවල් කර ගන්න බැරි වෙලා. දුන් පොරොන්දුවල කනපිට තමයි කරන්නේ.
🔴 ඉදිරි මැතිවරණ සඳහා සූදානම කොහොමද?
තවම මැතිවරණයක් පිළිබඳ ලොකුවට හා හෝවක් නැහැනේ. ඒත්, අප්‍රේල් වෙද්දී තියේවි. ඒ අනුව මාර්තු අන්තිම වෙද්දී අපි සියලු ප්රතිසංවිධාන කටයුතු හමාර කරනවා. ශක්තිමත්ව මැතිවරණයට ඉදිරිපත් වෙනවා.
🔴 ඔබ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක්. දැන් තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?
අපේ (2019) රජය කාලයට වඩා දැන් තත්ත්වය ඉතා නරකයි. මන්දපෝෂණය, දරිද්‍රතාව ඉතා ඉහළ මට්ටමකට ඇවිත්. අද එදාටත් වඩා වැඩි බරක්, වියදමක් රජයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට යෙදිය යුතුම තත්ත්වයක් තියෙන්නේ. ඒත් ඊට කිසිම පැහැදිලි වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහැ. බොරු මැජික් පෙන්වනවා. හරියට ඒ ඒ ඖෂධ පාවිච්චි කරන්නේ මොනවාටද කියලාවත් බලධාරීන් නොදන්නා බවක් තමයි ඒ ගැන ආණ්ඩුවේ බලධාරීන් කියන කතා ඇහුවාමත් මට හිතෙන්නේ. සෞඛ්‍ය එහෙම සුරංගනා කතා නොකිය යුතු ඉතා බැරෑරුම් විෂයයක්.
🔴 ඒ කාලේ ඔබලා කොහොමද කළේ?
මහාචාර්ය සේනක බිබිලේ සකස් කළ ඖෂධ ප්‍රතිපත්තිය අනුගමනය කළේ මම. එතෙක් අවුරුදු 45ක් ඒ අගනා ජාතික ප්‍රතිපත්තිය ලිපි ගොනුවකට සීමාවෙලා පැවතුණේ. එතැනදී මං පැහැදිලිවම ඖෂධයේ මිල හා එවකට පැවැති මිල පෙන්වා දුන්නා. ඒ සියල්ල ගැන වෛද්‍යවරයකු විදියට මට හොඳ අවබෝධයක් තිබුණා. මං ඇමැතිකමට එද්දී මේ රටේ ජනතාව වාර්ෂිකව මිලියන 14,000ක ඖෂධ ගිල දැමුවානේ. හැබැයි මගේ පළමු පියවර වුණු ඖෂධ 48ක මිල අඩු කිරීම හරහා එම වියදම මිලියන 4000ක් පමණ තෙක් පහත වැටුණා. එවැනි පිළිගත් වැඩපිළිවෙළකින් විද්‍යාත්මකව ඖෂධ මිල පහත හෙළනු මිසෙක ආණ්ඩුව කරන විජ්ජා වැඩ වගේ ජීවිතවලට කෙළින්ම බලපාන ඖෂධ මිල අඩු කිරීම් පිළිබඳ ආණ්ඩුව කියන කතා ප්‍රලාප විතරයි.
🔴 මෙරටදීම ඖෂධ නිෂ්පාදනය කර ගැනීම රටට ඉතා වැදගත් නේද?
සත්තකින්ම. මං ඒකට වැඩ කළ කෙනෙක්. මගේ ධුර කාලයේදී රටපුරා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා 29ක් ගොඩනැඟුවා. ඒත් මෙරට එකම ජනපතිවරයකුටවත් ධුර කාලය තුළදී එවැනි කම්හල් 5ක්වත් හදන්න පුළුවන් වුණේ නැහැ. එදා මං එහෙම නොකළා නම් කොවිඩ් වසංගත කාලේ මේ රටට ඖෂධ නැත්තටම නැති වෙන්නත් තිබුණා.
අපේ කම්හල්වලදී හැදූ ඖෂධ ටික විතරනේ ඒ කාලේ රටට ඉතිරි වුණේ. එකල ඉන්දියාව පමණක් නෙවෙයි, යුරෝපීය රටවල් අපනයන නවතා දැමුණු හැටිත් මතකනේ, ඉතින්, මං එක ප්‍රතිපත්තියක් මත ඒවා කළේ. ඒක මැජික් එකක්. ඒ, ‘බයි බැක් ගැරන්ටි’ ක්‍රමවේදය.
එහිදී අපි අමාත්‍යාංශයට අවශ්‍ය සියලු ඖෂධ එකම ලැයිස්තුවකට ගත්තා. ඖෂධ සැපයුම්කරුවන්ට අපි කිවුවේ, ඒ ඔක්කෝම එකම සැපයුම්කරුවකුගෙන් මිලදී ගන්න අපි කැමැතියි කියලායි. එවිට ඔවුන් අඩු ලන්සු ඉදිරිපත් කළා. එතැනදී ඔවුන්ගේ පිරිවැය බෙහෙවින් අඩු වුණා. ඒ, ප්‍රචාරණ, අලෙවි, ඇසුරුම්කරණ ආදී වියදම් පහත වැටුණු නිසයි. එවිට ඉදිරිපත් වුණු අඩු ලන්සුව අපි සීමා කළ මිලටත් වඩා තවදුරටත් පහත වැටුණා. හැබැයි, මේ ආණ්ඩුව බයි බැක් ගැරන්ටි, දෙනවාද නැද්ද කියලා තවමත් සාකච්ඡා කරමින් ඉන්නවා විතරනේ. දේශීය නිෂ්පාදනයක් දියුණු කරන්නට නම් ආයෝජකයන් ඊට ආශක්ත කරවන වැඩපිළිවෙළක් රජයෙන් හඳුන්වා දෙන්නත් ඕනෑ. එහෙම නැතිව කයිවාරු ගැහැව්වාට වැඩක් නෑ. දැනටත් ඖෂධ 330ක් ප්‍රධාන ඖෂධ ගබඩාවල නැහැ. එහෙම වුණාම රජයේ රෝහල්වලත් 200ක් වත් නැතිවීම සාමාන්‍ය දෙයක්.
රෝගීන්ට නිවෙසේදී විශේෂ පහසුකම් අවශ්‍ය කළා. අඩු ආදායම්ලාභීන්ට එවැනි සුවපහසු, මුළු දවසම වායුසමනය කළ නිවාස නැති බව පෙනුනාම අපි රජයේ වියදමින් සුදුසු නිවාස සපයා දුන්නා. විදුලි ආදී ඒ බිල්පත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙව්වා. ඒත් ඉකුත් දින 52 රජය එය නවතා දැමුවා. එවිට මා පුද්ගලික වියදමින් ඒ රෝගීන්ගේ ජීවිත රැකදීමට කටයුතු කළා. අපි ආදරය මතයි ඒ සියල්ල කළේ.
🔴 ඔබ කෙහෙළිය රඹුක්වැල්ලව දකින්නේ කොහොමද?
සෞඛ්‍ය අමාත්‍යකම කියන්නේම උතුම් සේවාවක්. ඒක මුලින් වටහාගන්න ඕනි. ඊට වඩා කුසල කර්මයක් නැහැ. ඒ අමාත්‍යාංශය හරියට කළොත් අමුතුවෙන් නොපෙනෙන බලවේගවලින් පිහිට පතන්න ඕනෑත් නැහැ. බුදුන් පවා රෝගී උපස්ථානයේ අගය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවානේ. මං දැන් සංසාර චක්‍රයට වුවමනා කරන කුසල ධර්ම ටික සෞඛ්‍ය ඇමැතිකම කරද්දී සම්පූර්ණ කරගෙන හමාරයි. සොබාදහම මාව අරක්ෂා කරනවා. ඒත් තව කෙනෙක් මේක ව්‍යාපාරයක් කියලා හිතනවා නම් එතැන ප්‍රශ්නගතයි. අපි අපිට අවංක වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් සොබාදහමෙන්ම පවු පල දෙනවා ඒකාන්තයි.
🔴 සෞඛ්‍ය අමාත්‍යාංශයට විදෙස් ප්‍රදාන, ආධාරවල බලපෑම ගැනත් ඉකුත් කාලයේදී කතාබහක් පැවතුණා?
මං වැඩිපුරම රටට වැඩ කළේ විදෙස් ප්‍රදාන, ආධාරවලින්. එය මෙරටින් සෞඛ්‍යයට වෙන්වූ මුදල මෙන් 9 ගුණයක් විතර වෙනවා. මගේ ධුර කාලයේදී රුපියල් බිලියන 468ක පමණ ආධාර, ප්‍රදාන ලැබුණා. එයින් රු. බිලියන 400ක්ම ලැබුණේ යුරෝපා සංගමයෙන්. මෙරටින් මං රුපියල් මිලියන 53ක් විතරයි ගත්තේ. මං කොමිස් ගැහැව්වේ නෑ. විදෙස් දූත පිරිස් රස්තියාදු කළෙත් නැහැ. ඊට ඔවුන් බෙහෙවින් සතුටු වුණා. අනෙක් අයටත් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක වැඩ කරන්නැයි දන්වා තිබුණා. ඒ වගට එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊට සාක්ෂි දරනවා. නැවත එවැනි කලක් උදා කර ගැනීමට ආණ්ඩුව IMF මඟ පෙන්වීම් අනුව කටයුතු කළොත් හැකියාව ලැබේවි.
🔴 දේශීය, ආයුර්වේද වෙදකම් ගැනත් යමක් කිව්වොත්?
මගේ කාලේ තරම් දේශීය වෙදකම, ආයුර්වේදයට වැඩ කොටසක් මෑතකාලීනව කවුරුත් කළේ නැහැ. මං දේශීය වෙදකමේ, ආයුර්වේදයේ පැරණි පුස්කොළ පොත් 600ක් පමණ ගෙන්වාගෙන අමාත්‍යාංශයේ ඊට වෙනම ඒකකයක් හදලා ඒවා සිංහල, දෙමළ භාෂාවලට පරිවර්තනය කළා. ආධුනිකයන්ට ඒවා හැදෑරීම පහසු කළා.
ඒ වගේම, ඖෂධ සංග්‍රහයක් ඇති කළා. එහි අදාළ ඔසුවේ මාත්‍රාව ආදිය ඇතුළත්. බටහිර වෙදකමේ එහෙම තිබුණත් දේශීය, ආයුර්වේද වෙදකම අතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහෙම එකක් එතෙක් තිබුණේ නැහැ. ඉන්දියාවට ආයුර්වේද සංග්‍රහයක් හදන්න අවුරුදු 13ක් ගත වුණා. අපට අවුරුදු 7කින් ඒක කරන්න හැකි වුණා. අනෙක, බටහිර වෛද්‍ය විද්‍යාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හිටියේ නැහැ. අපි ඒ බඳවා ගැනීම් සිය ගණනක් කළා.
🔴වෛද්‍යවරුන් රට හැරයෑම ගැනත් කතාබහක් තියෙනවා?
රට ගොඩනැඟීම තුළ පමණයි ඊට පිළියම් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ රට හදන විට රට හැර ගිය වෘත්තිකයන් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වුණා. ඒත් අද නැවත ඒක වැඩි වෙලා. ලංකාව හදනවාය කියන එක බොරු කතාවක් කියලා ජනතාවට ඒත්තු ගැන්වුණාමයි ඒක එහෙම වෙන්නේ.
🔴ඔබලාගේ ඉලක්කය?
අපි ඉදිරියටත් රටට ආදරය කරන, ජනතාවාදී නායකයෙක් ගේනවා. ඒ හරහා රට හදනවා.
🔴ඒ කවදා විතරද?
ඒක තීරණය කරන්නේ වත්මන් ආණ්ඩුවේ ඉන්න කට්ටිය තමයි.
නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූපය – ශාන් රඹුක්වැල්ල