ජනපති ධුරයේ දිවුරුම් දී පැය 48ක් ගතවීමටත් පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විධායකයේ නියෝග පිට නියෝග නිකුත් කරමින් අමෙරිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි අවධානයකට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නව ජනාධිපතිවරු සාම්ප්‍රදායිකව පළමු දින 100 ඉලක්ක කරමින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද, ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු පැය 100 ඇතුළත වේගවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ධවල මන්දිරයට ගිය පළමු දිනයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමෙන් හා සංක්‍රමණිකයන්ට දැඩි නීති පැනවීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වු ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලය වඩාත් සංවිධානාත්මකව ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඔහු විසින් ගනු ලැබූ තීරණ අතර අමෙරිකාවේ උපත ලබන විජාතිකයන්ට එරට පුරවැසිභාවය අහිමි කිරීම සහ පැරිස් සම්මුතියෙන් ඉවත්වීම මේ වනවිට ආන්දෝලනයකට තුඩු දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජන්ම අයිතිය තුළින් අමෙරිකාවේ පුරවැසිභාවය ලබාදීමට අවසන් කිරීමට ගත් තීරණයට අභියෝග කරමින් ට්‍රම්ප් විරෝධී ඩිමොක්රටික් පරිපාලනය යටතේ පවතින එරට ප්‍රාන්ත 24ක් සහ නගර ගණනාවක් නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට වඩා අඩු මට්ටමක පවත්වා ගනිමින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව එක්ව පිහිටුවා ගත් පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට සිය පළමු ධුර කාලයේදීද ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබූ අතර, ජෝ බයිඩ්න් ජනපති ධුරයට පත්වීමෙන් පසු අමෙරිකාව නැවත එම සම්මුතියට එක්වී සිටියේය. මෙක්සිකෝ බොක්ක අමෙරිකානු බොක්ක ලෙස සංශෝධනය කිරීමත්, සංක්‍රාන්ති ලිංගිකත්වය ප්‍රතික්ෂේප කිරීමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 48 පැයේ ආන්දෝලනයකට තුඩු දුන් විධායක නියෝග අතර ඇතැයි වාර්තා වේ.