රථවාහන වැරදි කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ නව තාක්ෂණය ඔස්සේ පවත්වාගෙනයෑම සඳහා නව මෘදුකාංගයක් පෙරේදා (21) හඳුන්වා දුන්නේය.
ප්‍රීමා කළමනාකරණ පෞද්ගලික ආයතනයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොලීසියට ලද එම මෘදුකාංගය වැඩ බලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වනු ලැබීය.
මෙමඟින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සහ පොලිස් සීසීටීවී කොට්ඨාසය ඒකාබද්ධ වනු ඇත. තාක්ෂණයෙන් පොලීසිය බලගැන්වීමේ අරමුණින් සිදු කරන වැඩසටහනක් ලෙස මේ කටයුත්ත සිදු වන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය සහ ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට ජාලගතව ඇති නිසා යම් රථවාහන වැරැද්දක් සිදු කර පලා යන වාහනයක ලියාපදිංචිය ඇතුළු සියලුම තොරතුරු ක්ෂණිකව ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ආරක්ෂක කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කර යම් මාර්ග නීතියක් කඩ කරන වාහනයක් හඳුනාගත්විට වාහනයේ ලියාපදිංචි අංකය ඔස්සේ එහි හිමිකරු හඳුනාගන්නවා. පසුව එම හිමිකරු පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට නව මෘදුකාංගය ඔස්සේ සිදු කළ රථවාහන වැරැද්දට අදාළ ඡායාරූපයක් ද යොමු කර නීතිය ක්‍රියාත්මක කරනවා.
මෙහිදී ලියාපදිංචි හිමිකරු සතුව එම වාහනය නොපවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වීමට යම් වැඩපිළිවෙළක් අනුගමනය කරනවා. යම් වාහනයක් එහි හිමිකරුගේ නමින් ලියාපදිංචි කර නොගෙන මුල් ලියාපදිංචි හිමිකරුගේ නමින්ම තබාගෙන සිටීම වරදක්. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කර මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.
වාහනයක ආදායම් බලපත්‍රය ගැනීමේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් වූ දඩ මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.”
ප්‍රීමා කළමනාකරණ පෞද්ගලික ආයතනයේ සාමාන්‍යාධිකාරි ක්‍රිෂාන්ත පෙරේරා, අධ්යක්ෂ සුනිල් ලිනියාගොඩ, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වන ශාමින්ද ඉලංගතිලක, රුවිර, රථවාහන සහ අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කොළඹ නියෝජ්‍ය පොලිස්පති එන්. පී. ලියනගේ, ආරක්ෂක කැමරා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී. පී. ගම්ලත්, එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහත්වරු ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.