ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර සේවක වැඩසටහනකට අදාළව අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් සහ E8 වීසා ගිවිසුමක් සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ කටයුතු ඇමැති මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ දැනුම් දුන්නේය.
හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු අනාවරණය නොවූ නිසා එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් පැන නොගැනුණ බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වීය. මනුෂ නානයක්කාර මහතා අපේක්ෂිත ඇපයක් ඉල්ලා ගොනු කළ අයදුම්පත කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජගදීෂ රණසිංහ මහතා කියා සිටියේ, පෙත්සම්කාර මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන එම අයදුම්පත ඉල්ලා අස් කරගන්නා බවය. දෙපාර්ශ්වයේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම පෙත්සම නිෂ්ප්‍රභ කළාය.