පසුගිය කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්රමිකතාවන්ට ලක් වූ මෘදුකාංග පද්ධතිය වෙනුවට නව මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.
මෙම කාර්යාංශය තුළ දත්ත ඇතුළත් කිරීම සඳහා මෙපමණ කාලයක් භාවිත කර තිබුණේ එම්.එස්. එක්සෙල් ආකෘතිය වන අතර එය ඉතාම ප්‍රාථමික මෘදුකාංග පද්ධතියක් වන බවත් එමඟින් ඕනෑම දත්තයක් මකා දැමීමටත්, එකතු කිරීමටත් හැකියාව පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
එවැනි මෘදුකාංග පද්ධතියක් භාවිත කිරීමෙන් මෙම කාර්යාංශය තුළ ඕනෑම විදියක අක්‍රමිකතා, දූෂණ කළ හැකි බවත් අක්රමිකතාවන්ගෙන් තොර ක්‍රියාවලියක් මෙම කාර්යාංශය තුළ ස්ථාපිත කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය භාර මහාචාර්යවරයා සමඟ සාකච්ඡා කර නව මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ක්ලීන් ශ්‍රී ලංකා විවාදයට එක් වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඉතාම සංවේදී තොරුතුරු පවා හුවමාරුව පැවතියේ එම්.එස්. එක්සෙල් ආකෘතිය යටතේ වන අතර එහි තොරතුරු ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට හැකි නිසා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
මෙම කාර්යාංශය තුළ අවංක නිලධාරීන් රැසක් රාජකාරී කටයුතු කරන බවත් පසුගිය කාලයේ සිදු වූ අක්රමිකතාවන් තුළ ඊ-8, වාහන බලපත්‍ර යනාදිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වූ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.