මෙරට පවතින ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් තායිලන්ත ආයෝජකයන් දැනුම්වත් කිරීමට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙරට පවතින ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයන් කණ්ඩායමක් සමඟ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ මහත්මිය විසින් හමුවක් පවත්වා තිබේ. මෙහිදී දිගු කාලීන සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ප්‍රධාන ආයෝජන අංශ පිළිබඳව දැනුම්වත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ස්ථිර දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය විසින් මෙරට වත්මන් ආයෝජන අවස්ථා පෙන්නුම් කරමින් රටේ උපායමාර්ගික පිහිටීම, ආයෝජක හිතකාමී ප්‍රතිපත්ති සහ නැඟී එන ආර්ථික විභවය ගැන පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කර තිබේ.
සංචාරක, අධ්‍යාපනය සහ සංස්කෘතික හුවමාරු ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම, දෙරට අතර සහයෝගීතාව සහ ද්වි-පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව හඳුනා ගැනීම පිළිබඳව ද මේ හමුවේ දී සාකච්ඡා කර තිබේ.