ලෝකයේ කිසිඳු රටක බෙදුම්වාදය වෙනුවෙන් ශ්‍රී ලංකා භූමිය පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බව විදේශ කටයුතු, සංචාරක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ භූමිය චීනයේ බෙදුම්වාදය සඳහා පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවයට හානිවන සිදුවීම්වලට එරෙහිව චීනය මැදිහත් වන බව චීන රජය ප්‍රකාශ කළ බවත් ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.
රට බෙදන ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මැදිහත් වෙනවා. මීට පෙර පැවැති රජයන් පවා එක් චීනයක් කියන ප්‍රතිපත්තිය පිළිගෙන තිබෙනවා. අපිත් ආණ්ඩුවක් විදියට එම ස්ථාවරයේ ඉන්නවා. රටවල් දෙකක් කියා පිළිගන්නේ නැහැ. එක් රටක් කියන තැන අපි ඉන්නවා. අපේ රටේ බෙදුම්වාදය ක්‍රියාත්මක වනවිට එය පරාදකොට ලංකාව තනි රටක් ලෙස පවත්වාගෙන යාමට චීනය විවිධාකාරයෙන් අපිට උදව් කළා. අන්තර්ජාතික මට්ටමින් අපේ රට වෙනුවෙන් පෙනී සිටියා. චීනය එක් රටක් කියන ස්ථාවරයේ තබාගෙන අපි දිගටම අන්තර්ජාතික මට්ටමින් සහාය ලබා දෙනවා. යැයිද විජිත හේරත් ඇමැතිවරයා සඳහන් කළේය.
චීනයේ බෙදුම්වාදය සඳහා යම් ආකාරයක උත්සායක් තිබෙනවා නම් එවැන්නකට එරෙහිව ශ්‍රී ලංකා රජය මැදිහත් වෙනවා. ඒක අලුත් දෙයක් නොවෙයි. චීනයේ අභ්‍යන්තරයේ ප්‍රශ්න තිබෙනවා. ලංකාවේ භූමිය චීනයේ බෙදුම්වාදය සඳහා පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවයට හානිවන සිදුවීම්වලට එරෙහිව චීනය මැදිහත් වන බවට ඔවුන් සඳහන්කර තිබෙනවා. ඊට අමතරව දෙපාර්ශ්වය අතර ආරක්ෂක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න එකඟ වී තිබෙනවා. ශ්‍රී ලංකාවට තර්ජනයක් වන ආකාරයෙන් චීන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැහැ යැයි ද ඇමැතිවරයා කීය.
ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වනවිට අනවශ්‍ය තත්ත්වයන් නිර්මාණය වුවහොත් දෙපාර්ශ්වයේ එකඟතාවය අනුව ඒවා වෙනස්කර ගන්න හැකියාව ලැබෙනවා. චීනය තුළ ක්‍රියාත්මක ප්‍රතිපත්ති නොවෙයි මේ ගිවිසුම්වල ඇත්තේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන විදියේ ගිවිසුම්වලට අපි අත්සන් කර තිබෙනවා. අපිට ජාත්‍යන්තර වශයෙන් රටක් ලෙස චීනයට සහාය ලබාදෙන්න පුළුවන් යැයි ද ඇමැතිවරයා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දැල්පිටිය මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.