නිතර බිරියට පහරදීම් කරමින් දරුවන් ද දැඩි පීඩාවන්ට පත් කර ඇති බව කියන වගඋත්තරකාර සැමියකුට එරෙහිව බිරිය හා දරුවන් පදිංචි නිවෙසට ඇතුළුවීම තහනම් කරමින් පනවා තිබූ ආරක්ෂක අතුරු ආඥාවක් වසරකට බලපැවැත්වෙන පරිදි ස්ථිර කිරීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (21) නියෝග කළේය.
තිහාරිය ප්රදේශයේ පදිංචි වගඋත්තරකාර සැමියකුට එසේ බිරිය හා දරුවන් පදිංචි නිවෙසට වසරක කාලයක් බලපැවැත්වෙන පරිදි ඇතුළුවීම තහනම් කෙරිණි.
නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ගෘහස්ථ ප්රචණ්ඩත්වය යටතේ වගඋත්තරකාර සැමියාට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණ.
පෙර දිනයක වගඋත්තරකාර සැමියා නොමැතිව පැමිණිලිකාරියගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව බිරිය හා දරුවන් පදිංචි නිවෙසට ඇතුළුවීම තහනම් කරමින් ආරක්ෂක අතුරු ආඥාවක් නිකුත් කෙරිණි.
මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ අධිකරණයේ නොතීසි මත වගඋත්තරකාර සැමියා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් චෝදනාවට වරද පිළිගැනීමකින් තොරව අධිකරණය නිකුත් කර ඇති ආරක්ෂක අතුරු ආඥාව පිළිගන්නා බව පවසා සිටියේය.
මෙහිදී වගඋත්තරකරුගේ පිළිගැනීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා එසේ එම ආරක්ෂක අතුරු ආඥාව වසරකට බලපැවැත්වෙන පරිදි ස්ථිර කළේය.
නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.