අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අද (23) වත්මන් යොවුන් ලෝක ශූරියන් වන ඉන්දීය පිලට එරෙහිව තරග බිමට පිවිසෙයි.
මැලේසියාවේ ක්වාලාලම්පූර්හි බයුමස් ඕවල් පිටියේ පැවැත්වෙන මේ තරගය මෙරට වේලාවෙන් දහවල් 12.00ට ආරම්භ වීමට නියමිතය. මේ තරගය සමඟින් ලෝක කුසලන තරගාවලියේ මූලික වටයේ තරග නිමාවට පත් වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සුපිරි 6 වටයට සුදුසුකම් ලබා සිටින බැවින් මේ තරගය ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සටනක් බවට පත්ව තිබේ.
එක් කාණ්ඩයකින් රටවල් 3ක් සුපිරි 6 වටයට සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – මැලේසියා තරගයේ ජයග්‍රාහකයෝ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම ලෙස සුපිරි 6ට එක් වනු ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මූලික වටයේ සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් ප්‍රාසද ලකුණු 4 බැගින් හිමි කර ගෙන සිටින අතර, දළ ලකුණු වේගය අනුව ඉන්දියාව (9.148) පළමු ස්ථානය ගනිද්දී ශ්‍රී ලංකාව (5.500) දෙවැනි ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකාව සත්කාරක මැලේසියාව ලකුණු 139කින් සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කළ අතර, ඉන්දීය පිල කොදෙව්වන්ට එරෙහිව කඩුලු 9ක සහ මැලේසියාවට එරෙහිව කඩුලු 10ක ජයග්‍රහණ වාර්තා කළේය.
දැහැමි සෙනෙත්මා තරග 2කදී ලකුණු 86ක් රැස් කරමින් පිතිකාරිනියන් අතර දෙවැනි තැන ගෙන ඇති අතර, එංගලන්තයේ ඩවිනා පෙරින් පළමු තැන ගෙන ඇත්තේ තරග 3කදී ලකුණු 110ක් රැස් කරමිනි. ඊයේ වන විට තරගාවලියේ කඩුලුලාභිනියන් අතර දෙවැනි තැන ගැනීමට චමෝදි ප්‍රබෝධා සමත් වූයේ තරග 2කදී කඩුලු 6ක් බිඳ දමමිනි. ස්කොට්ලන්තයේ මයිසි මැසෙයිරා තරග 3කදී කඩුලු 7ක් දවා ගනිමින් පළමු තැන සිටී.
මේ අතර ඊයේ ‘බී’, ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩයේ මූලික වටයේ තරග නිමා වූ අතර, එංගලන්තය, අමෙරිකාව සහ අයර්ලන්තය ‘බී’ කාණ්ඩයෙන්, දකුණු අප්‍රිකාව, නයිජීරියාව සහ නවසීලන්තය ‘සී’ කාණ්ඩයෙන් සමඟ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය ‘ඩී’ කාණ්ඩයෙන් සුපිරි 6 වටයේ ස්ථාන වෙන් කර ගත්තේය.