මුහුණුපොතේ සැරිසරද්දී අපූරු කතාවක් කියවන්නට ලැබිණි. එහි සඳහන් වූයේ මිනිසකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක් වූ වලසකු නිදහස් වීම පිළිබඳ අපූරු කතාවකි.
ඒ කතා ප්‍රවෘත්තියට අනුව මිනිසා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධිය පිළිබඳ නඩු විභාගය ජූරි සභාවක් ඉදිරියේ විභාගකොට තිබේ. එහිදී වලසා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අපූරු තර්කයක් ඉදිරිපත් කොට තිබේ. ඔහු සඳහන් කොට ඇත්තේ වලසාට එරෙහිව නඩුවක් අසනවා නම් ජූරි සභිකයන් ලෙස වලසුන් කිහිප දෙනකුද නම් කළ යුතු බවයි. ඒ අනුව පත් කරන ජූරි සභාව ඉදිරියේ විභාග වූ නඩුවෙන් වලසා නිදොස් කොට නිදහස්කර තිබේ.
ඉහත කතාව සිහිපත් වූයේ ගෙවුණු කාලය මුළුල්ලේ දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වූ බොහෝ දේශපාලනඥයන් ඔවුන්ට එරෙහිව පැවති නඩු විභාගවලින් නිදහස් වීමේ සිද්ධි ද සමඟය.
මේ සම්බන්ධ ආසන්නතම ප්රවෘත්ති දෙකක් පසුගිය දින අසන්නට ලැබිණි. එහි පළමුවැන්න වූයේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.
2014 වසර අග භාගයේදී බිංගිරිය සහ නාරම්මල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් දුන් රුපියල් ලක්ෂ හැට එකක මුදල ජනතා සහන වෙනුවෙන් ලබා නොදී ජනපතිවරණ ප්‍රචාරණ වැඩ සඳහා භාවිත කිරීම පිළිබඳ සිද්ධිය එයට පාදක වී තිබිණි. වඩාත් සරලව කිවහොත් ඒ මුදල් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබිණි. ඒ කොතරම් යුක්තිසහගත දැයි විමසිය යුත්තේ හිටපු ජනාධිපතිවරයාගෙන් සහ අත්අඩංගුවට පත්වූ හිටපු අමාත්‍යවරයාගෙන් ම ය.
දෙවැනි සිද්ධිය වූයේ සුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70ක මුදල් අවභාවිත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමින් පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ සිද්ධියයි.
මේ සිදුවීම්වලින් අනතුරුව කැමරා ඉදිරියට පැමිණි බොහෝ දේශපාලනඥයෝ දේශපාලන දඩයම පටන්ගෙන ඇතැයි කෑගසන්නට වූහ. එහෙත් ඒ පිරිසම මීට පෙර දිනවල කියා සිටියේ සොරකම් කර ඇත්නම් නීති මඟින් කටයුතු කරන ලෙසයි. කලින් “පුළුවන් නම් අල්ලපන්” කියා, ඇල්ලූ පසු “ඔට්ටු නෑ!” කියා කන්කෙඳිරි ගෑම අපට නම් තේරුම් ගත නොහැකි ය.
මේ ආකාරයට ගෙවුණු පාලන කාල සියල්ලේම ජනතා මුදල් අවභාවිත වීම පිළිබඳ නාමලේඛනයක් සකස් කළ හැකි අතර, ඒ නාමලේඛනයට ඇතුළත් නොවී සිටින දේශපාලනඥයෝ ඇත්නම් ඒ ඉතා අතළොස්සකි.
මාරුවෙන් මාරුවට පත් වූ පාලන ක්රමවලදී හොරු ඇල්ලීම ජනප්‍රිය සටන් පාඨයක් වුවත්, කිසිදු හොරකුට එරෙහිව නීතිමය කටයුතු සිදු නොවිණි. ඒ පිළිබඳ පැවති නඩු විභාගවලදී සාක්ෂි ඔප්පු කරගත නොහැකිව නඩු පැත්තකට විසි වූ බව අසන්නට ලැබිණි.
එවැනි තාක්ෂණික හේතු මත අධිකරණයෙන් නඩු ප්‍රතික්ෂේප වූ අවස්ථාවලදී ඔවුහු ජනතා වීරයන් මෙන් රූපවාහිනී කැමරා ඉදිරිපිට දී ප්‍රකාශ නිකුත් කළහ.
මේ ආකාරයට ජනතා ඡන්දයෙන් තේරී පත් වී මැතිසබයට යන දේශපාලනඥයන් දූෂණ, වංචා, අක්‍රමිකතා කරන්නේ ඇයි? ඔවුන් සැබෑ ජනතා නියෝජිතයෝ ද? යන ප්රශ්නය අප හමුවේ පවතී.
දේශපාලකයන්ට ආණ්ඩු බලය ලැබුණු පසු හිස උදුම්මා ගත් මහන්තත්ත බලයක් ආරෝපණය කර ගෙන ජනතා අභිලාෂ සමඟ සෙල්ලම් කිරීම මීට හේතුවයි. නීතියේ පවතින සිදුරු අස්සෙන් රිංගා ජාතික ධනය තම ගිණුම්වලට පුරවා ගන්නා බලලෝභී දේශපාලකයන් පිළිබඳ තවදුරටත් කතා කිරීමෙන් පමණක් පලක් නැත. ඒ ලැයිස්තුව ඒ තරමට දිග ය.
ගත වූ කාලය මුළුල්ලේ බලයට පත් දේශපාලනඥයන් ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට දූෂණය සහ වංචාව නැවැත්වීමට නොහැකි වූයේ ඇයි? එය ගණිකා මඩම් හිමියකුගෙන් සදාචාරය අපේක්ෂා කරනවා වැනි කාරණයකි.
මෙවැනි තත්ත්වයක් හමුවේ වංචාව, දූෂණය සහ නාස්තිය මුළුමනින් ම පිටුදැකිය හැකි යැයි අපේක්ෂා කළ නොහැකි ය. මෙය පවතින සමාජ ආර්ථික දේශපාලනික රටාව තුළ නිර්මාණය වන අනිවාර්ය වූ යථාර්ථයකි. එබැවින් මේ ප්රශ්නය පුළුල් සමාජ දේශපාලනික දෘෂ්ටිකෝණයකින් වටහා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
දූෂිත සමාජ ක්‍රමවල නිර්මාතෘවරුන් වූ හිටපු පාලක පන්තිය මෙකී අර්බුදවලට විසඳුම් දුන්නේ ඒ ආකාරයෙනි.
සමාජ ක්රමයේ වෙනසක් ආකල්පමය වෙනසක් සහ ක්‍රියාදාමවල වෙනසක් මේ සඳහා ඇති විය යුතු ය. එවැනි සමාජ ක්‍රමයක් සඳහා වූ මූලික පදනම දැන් සකස් වී තිබේ. එය අනාගත සමාජ ආයෝජනයක් විය යුතු ය. එනිසා වර්තමාන දේශපාලකයන් පිළිබඳ අනාගතයේ මෙවැනි ප්රවෘත්ති නිර්මාණය නොවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
එබැවින් මේ පිළිබඳ ශක්තිමත් නීති පද්ධතියක් නිර්මාණය විය යුතු අතර, ඒ සඳහන් නිශ්චිත වැඩපිළිවෙළක් ද නිර්මාණය විය යුතුය. අපි ඒ සඳහා බලාපොරොත්තු පළ කරමු. තනි තනි පුද්ගලයන් අල්ලා සිරගේ දැමූ පමණින් දූෂණය, වංචාව හෝ ආක්රමිකතාව නතර වන්නේ නැත. එවැනි නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කොට චුදිතයන්ට තරාතිරම නොබලා දඬුවම් කරන ක්‍රමවේදයක් සකස් විය යුතු ය.
ජනතා මුදල් අවභාවිත කළ, ඒවා සාපරාධි සාවද්‍ය පරිහරණය කළ ජනතා නියෝජිතයන් දේශපාලනඥයන් ලෙස හඳුනා ගැනීමට අප කැමැති නැත. ඔවුහු දේශපාළුවෝ ය; රටත්, ජනතාවත්, එහි ඉදිරි ගමන් මඟත් විනාශ කළ දේශපාළුවෝ ය.
මෙකී දූෂිත දේශපාළුවන්ගෙන් රට බේරා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඔවුන් තොග පිටින් අල්ලා සිරගෙවල් පිරවූ පමණින් සාධාරණය ඉටු නො වේ. ඔවුන් විසින් විනාශ කරන ලද ජාතික ධනය යළි මෙරට සංවර්ධනය සඳහා යොදා ගත යුතු ය. ඒ සඳහා නිශ්චිත ක්‍රමවේද සකස් කිරීම කාලීන අවශ්‍යතාවකි.