Home » රැවටුණත් රැවටුණු බව පේන්න නොදී ජීවත් වෙන්න

රැවටුණත් රැවටුණු බව පේන්න නොදී ජීවත් වෙන්න

‘සඳුදා වැටෙන්නෙ සිකුරාදාට’ අධ්‍යක්ෂණය - චාලක රණසූරිය

by mahesh
January 24, 2025 12:30 am 0 comment

නාට්‍යවේදී චාලක රණසූරිය මහතාගේ ‘සඳුදා වැටෙන්නෙ සිකුරාදාට’ 50 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍යය විය. හොඳම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන අටක් ලැබූ මෙය වේදිකාවට ගෙනැවිත් දැන් දර්ශන වාර සියයට ද ආසන්නය. මේ ඒ පිළිබඳව චාලක රණසූරිය සමඟ කළ පිළිසඳරයි.

චාලක, මේ දවස්වල කරගෙන යන අලුත් වේදිකා නාට්‍ය ගැන කතා කරමු?

මගේ අලුත්ම වේදිකා නාට්‍යය ‘අට වන බුවනෙක’. මේ වේදිකා නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය (ජනවාරි) පළවෙනිදා පැවැත්වුණා. මැයි මාසයේ මංගල දර්ශනය පැවැත්වීමට නියමිතව තියෙනවා. ජගත් චමිල, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ෆර්ඩිනැන්ඩු මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වේදිකා නාට්‍ය ගණනාවක් තිළිණ කළ ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසීම සිදු වන්නේ කෙසේද ?

පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙනවා. ජයලාල් රෝහණ සහ ෂෙල්ටන් පයාගල කියන ප්‍රවීණයන් දෙදෙනා යටතේ නාට්‍ය හා රංග කලාව හදාරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ වසර 2000දී වගේ. ඊට පසුව රංගනය හැදෑරීමට තමා මම එකතු වුණේ. එහිදී මම වැඩි නැඹුරුවක් දැක්වූවා, රංගනය හැදෑරීමත් සමඟ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කියන කොටස ඉගෙන ගන්න. එසේ ඉගෙනගෙන නාට්‍ය ලියන්න සහ අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තේ. 2000 වසරේ විතර ඉඳලා නාට්‍ය කළා. 2010 වසරේ කළ ‘බොක්ස්’ නාට්‍යයත් එක්ක තමා මම ගැන ටිකක් කතාබහ කරන්න පටන් ගත්තේ. ඒ වසරේ ජාතික නාට්‍ය උලෙළේ ‘බොක්ස්’ නාට්‍යය ඇගයීමට ලක් වුණා. හොඳම නළුවාට සහ හොඳම නිළියට හිමි සම්මාන හම්බ වුණා. ඒත්, එක්කම ‘ඩයිනෝසර් ප්‍රේමය’ නමින් නාට්‍යයක් ලිව්වා. පසුව ‘හෙලෝ’ කියලා කෙටි නාට්‍යයක් කළා. මේ වගේ කෙටි නාට්‍ය කිහිපයක් කරලා 2016 වසරේදී ‘මාරක ළිඳේ සවාරියක්’ කියන දිගු නාට්‍යය කළා. පසුව 2023 වසරේදී ‘සඳුදා වැටෙන්නෙ සිකුරාදාට’ කියන දිගු වේදිකා නාට්‍යය රචනා කරමින් අධ්‍යක්ෂණය කළා. මේ නාට්‍යය 50 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍යය බවටත් පත්වුණා. හොඳම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන අටක් අපට හිමිවුණා. මේ නාට්‍යයේ 100 වැනි දර්ශනයට ළඟා වෙමින් තියෙනවා. ඒ එක්කම තමා ‘අට වැනි බුවනෙක’ කියන නාට්‍යයත් පටන් ගත්තෙ.

‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ කියන වේදිකා නාට්‍යයෙන් සමාජගත කරන්න බලාපොරොත්තු වුණේ කුමක්ද ?

බොහෝ වේලාවට අපි ප්‍රදර්ශනකාරී ජීවිතයක් වෙනුවෙන් ඇත්ත ජීවිතය වසන් කරනවා. මධ්‍යම පාන්තිකයන්ට බොහෝ වෙලාවට පිටතට පේන ජීවිතය සහ ඇතුළත ජීවිතය කියන දෙකක් ගතකරන්න වෙලා තියෙනවා. ජීවිතය ඇතුළේ තියෙන බොහෝ හැලහැප්පීම් සහ පීඩාකාරීබව පිටතට නොපෙනෙන්න කටයුතු කරනවා. කොච්චර රැවටුණත් රැවටුණු බව පේන්න නොදී ජීවත් වෙන්න උත්සාහ දරන මධ්‍යම පාන්තික ජීවිත ගැන තමා මේ කතාවෙන් එළියට එන්නෙ. අපි ජාතියක් විදියට, රටක් විදියට, මිනිස්සු විදියට කොච්චර රවට්ටන්න පහසු ද, ඒ රැවටීම රැවටෙනවා කියා දැන දැන නැවත නැවතත් රැවටෙන එක ගැන තමා මේ නාට්‍යයෙන් කතා කරන්නෙ.

මේ වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වන පිරිස කවුද ?

මේ වේදිකා නාට්‍යයට සරත් කරුණානායක, කුසල් මදුරංග, සුලෝචනා වීරසිංහ, නදුනි ධනංජනා, චානක බණ්ඩාර සහ ශදීසා ධර්මප්‍රේම රංගනයෙන් දායකත්වය දක්වනවා. මෙය දිලූපා නිරෝෂණී අල්විස්ගේ නිෂ්පාදනයක්.

දර්ශන වාර සියයකට ආසන්න වෙමින් තියෙන ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ කියන වේදිකා නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ?

ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වීමට පෙර සිටම ප්‍රේක්ෂකයන් අතරට ගිය නාට්‍යයක් මේ. අදටත් කොළඹ විතරක් නෙවෙයි, පිට පළාතක පවා මේ නාට්‍ය වේදිකාගත වුණොත් රංග ශාලාව පිරී ඉතිරෙන්න ප්‍රේක්ෂකයන් ඉන්නවා. එවගේම ඉදිරියටත් දර්ශන වාර ගණනාවකට ආරාධනා ලැබී තියෙනවා.

මේ වේදිකා නාට්‍යයට ඉලක්කගත පිරිසක් ඉන්නවා ද ?

මේ නාට්‍යය පොදුවේ ඕනෑම කෙනකුට රස විඳීමේ හැකියාව තියෙනවා. ඛේදාන්ත ප්‍රහසනයක් විදියට තමා මෙය දිග හැරෙන්නෙ. මතුපිට සරල හාස්‍යය දිහා බලලා හිනා වෙන කෙනකුට එහෙම හිනා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහි ගැඹුර අවබෝධ කරගෙන හිනා වෙන කෙනකුට එහෙම හිනා වෙන්නත් පුළුවන්.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට මේ වේදිකා නාට්‍යයෙන් දක්වන දායකත්වය පැහැදිලි කළොත්…..

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගොඩනැඟිලි අරමුදල වෙනුවෙන් පෙබරවාරි මස 04 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් එකේදී ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ කියන වේදිකා නාට්‍යයේ ප්‍රදර්ශන වාර දෙකක් (සවස 3.30 සහ 6.30 ලෙස) සංවිධානය කර තිබෙනවා. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය කියන්නේ ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් සංවිධානය වූවක්. මෙහි විශාල වෘත්තිකයන් පිරිසක් ඉන්නවා. මේ වෘත්තිකයන්ට වන අසාධාරණයන්, එහෙමත් නැත්නම් මේ වෘත්තිකයන් මැදිහත් වෙන්න අවශ්‍ය අවස්ථාවලදී එකමුතු වූ සංවිධානයක් ලෙස මේ සංසදය හඳුන්වන්න පුළුවන්. එතෙක් මෙතෙක් මෙවැනි සංවිධානයක් තිබී නෑ. එකම සංවිධානය තමා මේ. මෙහි මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීමට අවශ්‍ය අරමුදල සම්පාදනය කරගැනීමට තමා මේ නාට්‍යය ප්‍රදර්ශනය කරන්නෙ.

මේ සංසදයේ සභාපති ලෙස චන්දන ලියනගුණවර්ධන, ලේකම් ප්‍රවීණ ටෙලි සිනමා අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහත්වරුන් කටයුතු කරනවා. පෙර සභාපති ලෙස ඩග්ලස් රණසිංහ මහතා කටයුතු කළා. පරාක්‍රම නිරිඇල්ල, චන්ද්‍රසිරි බෝගමුව මහත්වරුන් වගේ ප්‍රවීණයන් විශාල පිරිසක් මේ සංවිධානය වටා ඒකරාශී වෙලා ඉන්නවා. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 32 වැනි වසර තමා මේ ගෙවෙන්නෙ. සංවිධානය එතරම් පැරණි වුණත් ඒකරාශී වෙන්න මූලස්ථානයක් තිබුණේ නෑ. ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැඟිල්ලට මුල්ගල මේ මාසෙ 30 වැනිදා තියනවා. ඒ සඳහා අරමුදල ශක්තිමත් කර ගන්න ‘සඳුදා වැටෙන්නෙ සිකුරාදාට’ වේදිකා ප්‍රදර්ශනය කරනවා. ක්ෂේත්‍රයේ ඉන්න සියලු වෘත්තිකයන්ට එදිනට එන්න ආරාධනා කරනවා.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT