Home » කේක් පොදු ජනතාවගේ කෑමක් කළා

කේක් පොදු ජනතාවගේ කෑමක් කළා

වාසනා බේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් හී නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ දයානන්ද බෝඹුවල

by mahesh
January 24, 2025 1:00 am 0 comment

බුද්ධිකා බ්‍රාහ්මණගේ

වාසනා බේකර්ස් වසර 30 සපුරයි

“හවස් වෙන කොට ගමේ පිරිමි හෙමින් සීරුවේ කැලේට රිංගනවා. මගේ බිරිඳත් හවසට බත් එකක් බැඳල, ඇඳ ඇතිරිල්ලයි, ඉටි කොළයයි දාපු මල්ල අතට දෙන්නේ ” පරිස්සමින් ගිහින් එන්න” කියමින්, ඒත් එදා මම උදේ ගෙදරට එන්න කලින් පාන්දරම බිරිඳ (අනූෂා විජයන්ති පෙරේරා) මා සිටිතැන් හොයාගෙන ඇවිත් තිබුණා. “මුළු ගමම වට කරලා හමුදාවෙන් අද ආවොත් මොකකින් මොකක් වෙයිද කියන්න බෑ, කොහොමින් හරි පිටවෙලා හැංගෙන්න” එයා මගේ අතට කමිසයක් සහ රුපියල් 500 ක් දුන්නා. ගමට නොගිහින් පිටවෙන්න කිසි අතක් නෑ. තිබුණ එකම තැන ගඟ විතරයි. ගඟ දෙගොඩතලා වතුර ගලනවා. කමිසයේ සාක්කුවට රුපියල් 500 දාලා එතුවා. ගඟ ඉවුරට ගිහින් සරමත් ගලවලා කමිසය සරමටම ඔතාගත්තා. ගඟට පැනලා එක අතකින් සරම උඩට උස්සගෙන හැකි ආකාරයෙන් එගොඩට පීනුවා. ජීවිතය බේරගැනීමට වෙනත් මඟක් නෑ. ඒ මායි‍ෙම් තිබුණේ රබර් වතු. මගේ යාළුවෙකුගේ ගෙදරට ගියා. එයා මාව බයික් එකකින් අතුරුපාරවල්වලින් ගිහින් කොළඹ බස් එකකට ගොඩකළා. බස් එකේ ටික දුරක් යනකොටයි ජීවිතේ බේරුණු බවක් හැඟුණේ. “එදා මම හිතාගත්තා අමාරුවෙන් අසීරුවෙන් බේරගත් ජීවිතයට දවසක නියම වටිනාකමක් ලැබෙන්නේ ලෝකයට යමක් කළ හැකිනම් පමණක් බව” එසේ පවසන්නේ හොරණ වාසනා බේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්හි නිර්මාතෘ කළමනාකාර අධ්‍යක්ෂ දයානන්ද බෝඹුවල මහතායි. වාසනා බේකර්ස් මෙරට අරඹා වසර 30ක් ගතවී තිබේ.

කතාබහ ඒ පිළිබඳවයි.

ඔබතුමා කවුද?

මම දයානන්ද බෝඹුවල, ව්‍යවසායකයෙක් වුණේ අහම්බයකින්. මට වුවමනා වුණේ සැමට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනඟන්න නමුත් ඒ ගමනෙදී මට ඒක කරන්න ලැබුණ මාවත ව්‍යවසායකත්වය.මම ඒ ගමන යමින් සිටින්නේ.

ගම, පවුලේ විස්තර එහෙම ?

ගම ගෝවින්න, රැටියල. මගේ තාත්තා බෝඹුවලගේ කමෙල් සිංඥෝ, අම්මා සිසිලින් පෙරේරා, පවුලේ දුවලා හයයි. පුතාල හතරයි. මම තමයි බඩපිස්සා.

දහදෙනෙක් සමඟ හැදුණු වැඩුණු ළමා කාලය කොහොමද ?

අක්කලාගේ ආදරයත් අයියලාගේ දඟකන් එක්ක ගෙවුණු ළමා කාලය මට මතක කාලයේ වැඩිමල්ම තුන්දෙනා පාසැල් ගමන නවතා තිබුණේ. මාත් සමඟ හත්දෙනෙක් පාසැල් යන වයසේ. බාලයා නිසාම ආර්ථික දුෂ්කරතා වැඩිපුර දැනුණු අවස්ථා තිබුණා.

මුලින්ම ගිය පාසැල?

මුලින්ම ගියේ රැටියල කනිෂ්ඨයට, ඉන්පස්සේ උසස් පෙළ කරන්න ගෝවින්න මහා විද්‍යාලයට, උසස් පෙළ ඉගෙන ගත්තේ කලා අංශයෙන්, පස්සේ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යායතනයේ G.A.Q ටික දවසක් කළා. මම බාහිර උපාධිය කරන්න ලියාපදිංචි වී හිටියත් ඉගෙනීමට වඩා ගෙදරට සවියක් වෙන්නයි වුවමනා වුණේ. ඒ වෙන විටත් ගෙදර දීග නොගිය අක්කලා තුන්හතර දෙනෙක් හිටියා කලවයසත් ගෙවෙමින්.

උසස් පෙළ මොනවද කළ විෂයන්: භූගෝලය, සිංහල, බෞද්ධ සංස්කෘතිය හා ආර්ථික විද්‍යාව.

කැමැතිම විෂය මොකක්ද?

මම අදටත් සතුටු වෙනවා මම ආර්ථික විද්‍යාව ,වගේම සිංහල සාහිත්‍ය ඉගෙන ගැනීම ගැන, ජීවිතේ සමබර වුණේ ඒ නිසයි.

පුංචි කාලේ තෑග්ගක් ගැන ඔබ සඳහන් කර තිබුණා?

ලෙටීෂියා බොතේජු පරිවර්තනය කළ අනූෂ සහ රන්කුමරු වූ මට කියවීමට උනන්දුවක් දැල්වූවේ ඒ පොතයි. පස්සේ කියවීම ජීවිතයේ අංගයක් වුණා. රොබින්හුඩ්, වීදිය බංඩාර ඒ කාලේ දහදොළොස් පාරක් කියවන්න ඇති. උසස් පෙළ කාලේ කැමැත්තෙන් කියැවූ පොතක් තමා ජේ.ආර්.පී සූරියප්පෙරුමගේ Òදේශපාලන දාර්ශනික විග්‍රහය Ò ඒක හිතන්නට නව මානයක් ලැබුණා. සීමාවන් පුළුල් වුණු බවයි මගේ හැඟීම. ඒ පොත කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් වගේ වටිනා පොතක් කියලයි මට නම් හිතෙන්නේ.

අසූව දශකය ඔබ මනා තරුණයෙක්ව ඉන්නට ඇති?

1977වන විට මට අවුරුදු 20යි. ජීවත් වීමේ අරගලය, අනාගතයක් හදාගන්න විදිහ දැවෙන ප්‍රශ්න. මං වගේම සෑම තරුණයෙකුටම උත්සාහයෙන් නැඟී සිටිය හැකි සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමයි සිහිනය වුණේ.

ඔබ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගත්තේ?

ඒ දේශපාලනය තමයි මට ගැළපුණේ. අදටත් මගේ විශ්වාසය එයයි.

සාමාජිකත්වය ගත්තේ?

ඒකාලේ අපේ පළාතේ තරුණ තරුණියන් වැඩිදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ සමඟ කටයුතු කළා.සාමාජිකත්වය නිකන්ම දෙන්නේ නෑ. සංවිධානයේ අරමුණු හොඳින් අවබෝධ කරගෙන ඒ මතවාද සමඟ එකඟනම් පමණයි සාමාජිකයෙකු විය හැක්කේ.ඒ සඳහා පංති පහට සහභාගි විය යුතුයි.පංති පහ ඇතුළේ කතා කරන්නේ දුප්පතුන් ලෙස සදාකල් සිටිය යුතුද? දුප්පතුන් බවට පත්වූයේ කුමක් නිසාද? දුප්පත්කමට හේතුව මොකක්ද? ඒ හේතූන් නැති කරන්නේ කොහොමද? වගේ කරුණු.ඇත්තටම මම ජීවිතේ සියල්ල ඉගෙන ගත්තේ පංති පහෙන්.මගේ ජීවන දැක්ම හා දර්ශනයත් එයයි.

එදා ඉගෙන ගත් පංති පහ අදටත් ගැළපෙන බවද ඔබ පවසන්නේ?

ගෝලීය අභියෝග එදාට වඩා අද වෙනස්. නමුත් බොහෝමයක් ගැටලුවල සිද්ධාන්තය එකයි. එදා තිබුණ ලිබරල් කොමියුනිස්ට් ආර්ථික කඳවුරු වෙනුවට අද තරගය ගෝලීය උතුරු දකුණු ලෙස විතැන් වෙලා. ඒ නිසා කලාපීය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරමින් ආර්ථික අභියෝග ජයගැනීමයි කළ යුත්තේ.

ව්‍යවසායකයකු වීමට පෙර ඔබ මුදලාලි කෙනෙක්?

මගේ තාත්ත ගොවිතැන් කටයුතු වගේම දැව වෙළෙඳාමත් කළා. පොඩිකාලේ මම තත්තත් එක්ක රැටියල ඉඳලා මොරටුවට ගඟ දිගේ කිලෝ මීටර් 50ක විතර දුර කොටන් අරගෙන යනවා. පස්සේ මගේ පළමු රැකියාව වුණේ මොරටුවට දැව සැපයීම. තරුණ කාලේ හිතේ හයියට කළාට ඒක හරි අසීරු රැකියාවක්. ඒ කර්මාන්තෙන් මුදලක් එකතු කරගෙන ඉඩම් කෑල්ලක් අරගෙන මම පොඩි කඩකෑල්ලක් පොඩියට හදාගත්තා. කඩේ පිටිපස්සේ කටුමැටියෙන් පොල් අතු වහලා ගේ පොඩ්ඩක් හදාගත්තා. ඒ වෙන විටත් මම විවාහ වෙලා.එතැන තමා මේ හැමදේකම ආරම්භය.ගමට හරි හැටි කඩයක් තිබුණේ නෑ.දෙයක් ගන්න නම් ගෝවින්නටම යන්න ඕනේ.

1988 /89 අමතක නොවන දවස් ගැන කියන්න පුළුවන් ද?

අපේ ගම භීෂණයේ ගොදුරක් වුණ ගමේ ජීවිත ගානක් අතුරුදන් වුණා. ගොඩදෙනෙක් ටයර් සෑයවල්වල ගිනිබත් වුණා. මාව මරන්නම අරගෙන ගියා. කඩේ දෙවතාවක් පිච්චුවා. අන්තිමට දවසක් මුළු ගමම වටකරලා ගමේ තරුණයින් අත්අඩංගුවට ගන්න සැලසුමක් තිබුණා.ඒ විදිහට 1989 ගමෙන් පැනලා ගියා. නෝනටත් ජීවිත තර්ජන තිබුණා. එයත් ගමෙන් ගියා. 1994 චන්ද්‍රිකා ආණ්ඩු බලය ගත්තාට පසුවයි නැවත ගමට ආවේ.

ඔබ බේකරි කර්මාන්තයට ආවේ ?

අවුරුදු 06ක් ගමෙන් පිටවෙලා මම වැඩ කළේ ඥාතියෙකුගේ බේකරියක මුලින් අත් උදවු දුන්නා. පස්සේ බේකරි බාස්, නිෂ්පාදන කළමනාකරු, බෙදාහැරීම, මේ හැමදේම කළා.ඒ නිසා කර්මානේතය ගැන අතැඹුලක් සේ දැනගත්තා. මම බිරිඳට කියලා තිබුණා. කඩේ පිටිපස්සේ බේකරියකට ඔබින විදිහට පෝරණුවක් හදල තියන්න කියලා, මොකද මට කලින් එයාට ගමට එන්න පුළුවන් වුණා. මම 1994 ගමට ආවා, අතේ තිබුණේ රුපියල් 3000යි. අවුරුද්දක් විතර හවුලේ ව්‍යාපාර වැඩක් කළා. මේ ක්ෂේත්‍රයේම. එයිනුත් පාඩමක් ඉගෙන ගත්තා.1995දී පාන් ගෙඩි 35යි. ස්පන්චි 100යි. කේක් තැටි තුනයි. මගේ පළවෙනි නිෂ්පාදනය. එදා හවස් වෙන්නත් කලින් බඩු ඉවරයි. ඉන්පස්සේ පාන් පිච්චෙනකන් මිනිස්සු කඩේ දොරකඩ බලන් ඉන්නවා. ඒ පැත්තේ වැලි පොළවල්වල අයගෙන් තේ වෙලාවට ස්පන්චි 20,30 ඕඩර් ලැබෙනවා. මුල ඉඳලම මගේ අරමුණ අඩු ලාභය සාධාරණ වෙළෙඳාම. දර කපන්නේ කැලෙන්. ශ්‍රමය මගෙයි නෝනගෙයි. ඒ නිසා පොඩි ලාභයකින් සෑහුණා. ඉන්පස්සේ පොඩි ත්‍රීවීල් එකක් ගත්තා. අවට කඩවලටත් කෑම දාන්න පටන්ගත්තා. සෙමෙන් වුණත් ස්ථාවර ගමනක් ආවා.

අද වාසනා කේක් රටම දන්න සන්නාමයක්?

රටම දන්නවා. ඒ රට පුරාම අපේ ආහාර තියෙන නිසයි. වෙළෙඳ දැන්වීම්වලින් නෙමෙයි පාරිභෝගිකයෝ වාසනා කෑම වර්ග හඳුනා ගත්තේ. මුලින් මම කේක් හදන කොට සමහරු ඇහුවා “කේක් කන්නෙ කවුද කියලත්! මගේ පිළිතුරින් මම කීවේ කේක් කන්න උගන්නනවා” ඒක මම විහිළුවට කීවේ. නමුත් අද ඒක ඇත්තක් වෙලා. වැඩි දෙනෙකුට මිලදී ගත හැකි දෙයක් බවට කේක් නිෂ්පාදනයක් හැදුවා.

ඒ වෙනස කළේ කොහොමද?

ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත වගේම වැඩ කිරීමෙන් ලැබුණ අත්දැකීම් තමයි වැදගත් වුණේ. මම ගන්නේ හොඳම අමුද්‍රව්‍ය. මම මුල් කාලේ කොළඹ තොග කඩවලින් අතින් කරෙන් බඩු උස්සන් ආ කාලයක් තිබුණා. නාස්තිය අවම කිරීම ආරම්භයේ සිටම අනුගමනය කළා. අඩු ලාභය නිසා හැම වෙලේම තරගකාරී වෙළෙඳපොළේ අඩු මිලක් තබා ගැනීමට හැකි වුණා. ඒ වගේම වැඩි නිෂ්පාදනයක් කළත් ගුණාත්මක බව ආරක්ෂා කිරීමට උත්සාහ ගත්තා. මේ නිසා එතෙක් නොතිබූ ඉල්ලුමක් නිර්මාණය වුණා. ඒ සඳහා සැපයීමේ ජාලය දවසින් දවස පුළුල් කළා.දැන් දිනකට කේක් කිලෝ තිස් හතළිස් දාහක් අලෙවි වෙන තත්ත්වයක ඉල්ලුමක් තිබෙනවා. මඟුලට, මරණෙට, දානෙට නැතිවම බැරි දෙයක්නෙ කේක්!

මාක්ස් වාදයට ලැදි ඔබ ජ්‍යෝතිෂය විස්වාශ කරනවද?

ජ්‍යෝතිෂය කියන්නේ පෙරදිග දියුණුවට පත් ශ්‍රාස්ත්‍රයක්. ඒ වගේම විශ්වාසයට තුඩුදෙන අත්දැකීමක් මටත් තියෙනවා. මගේ බෙල්ල හරවන්න බැරි ස්නායු අමාරුවක් වයස අවුරුදු 49දී විතර ආවා.මගේ නෝනා හඳහන අරගෙන ගිහින් තිබුණ ඒ ගැන බලන්න. එතැනදී කියල දේශීය වෙදකමකින් සුවකළ හැකි බව, නමුත් අවවාදයක් දී තිබුණා වයස අවුරුදු 53ක් වන විට දරුණු තත්ත්වයක අසනීපයක් වැළඳෙන බවට. අපිටත් ඒක අමතක වුණා. නමුත් අවුරුදු 53දී ගලනාළයේ දරුණු තත්ත්වයක අසනීපයක් ඇතිවී තිබුණා. ඉන් ගොඩ ඒමට හැකිවේ යැයි කිසිවෙකුත් විශ්වාස කළේ නෑ. නමුත් වෛද්‍යවරුන්ගේ පිහිටෙන් අසීරු තත්ත්වයේ සැත්කමකින් අනතුරුව මම සුවෙන් සිටිනවා.

ඉන් පස්සේ ව්‍යාපාර කටයුතු?

මම ව්‍යාපාරය සඳහා මගේ උපරිමය කැප කළේ ඉන්පසුවයි. මේ ව්‍යාපාරය කඩාවැටුණොත් මේ හා බැඳී සිටින සැමගේ අනාගතය ගැන අපි වගකිවයුතුයි. ඒ ගැන හිතලා මම ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් පදනමක් ගොඩනැඟුවා.ස්ථාවර මූල්‍යමය සංචිත මෙන්ම තේ, පොල්, රබර්, වී ඉඩම් මිලට ගත්තා, ඒවා ආදායම් ලැබෙන ආකාරයෙන් හොඳින් නඩත්තු කරනවා. ඒ සියල්ල ගොඩනැඟුවේ ව්‍යාපාරයේ අනාගතය ගැන හිතලා.

ව්‍යාපාරයේ ඉදිරි සැලසුම්?

ශ්‍රී ලංකාවෙන් පිටතට ව්‍යාපාරය ගෙනයාමයි ප්‍රධාන ඉලක්කය. ඉන්දියාවේ චෙන්නායිවල, සිංගප්පූරුවට වගේම ඩුබායිවලත් වාසනා නිෂ්පාදන ප්‍රචලිත සැලසුම් කරනවා. ව්‍යවසායකයෙකු වීම පිළිබඳව සිහිනයක් තිබුණා ද? කිසිසේත්ම නෑ මේක අහම්බයක් නමුත් හැමදාමත් පටන්ගත් දෙයක් නිවැරැදිව අවසන් කිරීමේ වුවමනාවක් තිබුණා. මගේ හීනය වෙනස් එකක්, දැන් ඒ හීනයත් සැබෑවී තිපෙනවා. ඒ ගැන සතුටුයි.

හෙට දවස සුබ වෙයිද?

අනිවාර්‍යයෙන්ම.රටටම සුබයි. මේ ආණ්ඩුවේ කාටවත් පෞද්ගලික අරමුණු නෑ, ති‍ෙයන්නේ පොදු අරමුණක්. පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන විට වරදින්නේ නෑ.

ඡායාරූප – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT