මාවනැල්ල, දෙවනගල, කරගම්පිටිගොඩ ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබුණු කිලෝ 60ක් බරැති රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රිදියෙන් නිම කළ පෞරාණික මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.ඒ. එස්.ඒ. වීරක්කොඩි මහතා පෙරේදා (22) නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරේදා (22) නඩුව කැඳවන ලද අවස්ථාවේ සැකකාර හිමිවරු දෙනම හා සෙසු පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ. රිදියෙන් නිම කළ පෞරාණික මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ තවදුරටත් අධිකරණය භාරයේ තබන ලෙස ද එහිදී පොලිසියට නියෝග කෙරිණ.
මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිකාරී මැදිරිගිරියේ පඤ්ඤසාර ස්වාමීන් වහන්සේට දෙවනගල ප්‍රදේශයේ විහාරස්ථාන හතරක් හිමිව ඇති අතර, දෙවනගල කරගම්පිටිගොඩ පුරාණ විහාරස්ථානය ඉන් එකකි. මෙම විහාරස්ථානයේ වැඩ සිටින 80 හැවිරිදි වයෝවෘද්ධ හිමි නමට ආගමික කටයුතු සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් උන්වහන්සේ හා විහාරස්ථානය රැක බලාගෙන දායකයන්ගේ ආගමික කටයුතු සිදු කර දෙමින් වැඩ සිටීමට ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍ය කර ඇතැයි දන්වා මුහුණුපොත හරහා දැන්වීමක් පළ කර තිබුණි. පසුව දොම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමි නමක් දුරකතනයෙන් තොරතුරු විමසා ඉකුත් නොවැම්බර් 23 වැනිදා විහාරස්ථානයට වැඩම කර විහාරස්ථානය භාර ගෙන තිබූ අතර, යළි පසුගිය 25 වැනිදා අසනීපයෙන් මාතර පදිංචිව සිටින තම මව බැලීමට යන බව විහාරාධිකාරී හිමියන්ට පවසා පිටව ගොස් තිබේ. යළි 27 වැනිදා විහාරස්ථානයට වැඩම කළ එම හිමි නම 28 වැනිදා අතුරුදන්ව ඇති බවත්, විහාරස්ථානයේ ඉහළ මාලයේ තැන්පත් කර තිබුණු රුපියල් කෝටි දෙකක් වටිනා පෞරාණික රිදී මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ද අතුරුදන්ව ඇති බවටත් පසුගිය 28 වැනිදා මාවනැල්ල පොලීසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී සැකකාර හිමිනම කටුගස්තොට ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් මත මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේත්, එය රැගෙන යෑමට පැමිණ ඇතැයි කියන තවත් හිමිනමක්, මෝටර් රථයක් හා රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සහ භාණ්ඩ ඉකුත් 30 වැනිදා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.