Home » සිඟිත්තෙක් අත දරා කඩවලින් බඩු ඉස්සූ එකම පවුලේ 3ක් දැලේ

සිඟිත්තෙක් අත දරා කඩවලින් බඩු ඉස්සූ එකම පවුලේ 3ක් දැලේ

හොර බඩු සියල්ල වෑකඩ සුපිරි වෙළෙඳසලකට අයත්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

මාස 11ක සිඟිති දැරියක අත දරාගෙන සුපිරි වෙළෙඳසල්වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනකු ඇතුළු සිවු දෙනකු ඉංගිරිය කැටකඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට පත් වූවන් අතර 17 හැවිරිදි රූමත් තරුණියක්, ඇයගේ සැමියා, තරුණියගේ පියා සහ ත්‍රිරෝද රථ රියැදුරු ද වන බවයි. එම සැකකාරිය සහ සැකකරුවන් සමඟ රුපියල් 55,000කට ආසන්න වටිනාකමකින් යුත් කිරිපිටි වර්ග, සුවඳ විලවුන්, ෂැම්පු බෝතල් ඇතුළු දේපළ රැසක් සමඟ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉංගිරිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඉංගිරියේ කැටකැරැල්ල මාර්ග බාධකයේ පෙරේදා (22) දිවා රාජකාරියේ යෙදී සිටියදී බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 61586 චතුරංග නිලධාරියා ලබා දුන් තොරතුරකට අනුව රත්නපුර දෙස සිට පැමිණ මාර්ග බාධකය හරහා ඉංගිරිය දෙසට යෑමට පැමිණි ත්‍රිරෝද රථයක් නවතා එහි සිටි පුද්ගලයන් පරීක්ෂාවට ලක් කර තිබේ. එහි සිටි සිවු දෙනාටම ජාතික හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් ඇතිවූ සැකයක් මත රියැදුරුගේ බලපත්‍ර පරීක්ෂා කර තිබේ. ඒවා ද කල් ඉකුත් වූ ලිපි ලේඛන බවට අනාවරණය වී තිබිණ. පරීක්ෂාව අතරතුර ඒ අතර සිටි එක් පුද්ගලයකුගේ හැසිරීම් රටාවේ ඇති වූ සැකයක් මත පොලිස් සැරයන් 49951 පතිරාජ නිලධාරියා ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස බක්කි තුළ අසීමිත ආකාරයෙන් අසුරා තිබූ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔවුන්ගෙන් වෙන වෙනම සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම භාණ්ඩ සියල්ලම ඉකුත් 20 සහ 21 පානදුර වෑකඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් සොරා ගත් දේපොළ බවට අනාවරණය වී තිබිණ. සැකකරුවන් සොරාගත් භාණ්ඩ රත්නපුර, කිරිඇල්ල ආදී ප්‍රදේශවල වෙළෙඳසල් හිමියන්ට විකිණීමට උත්සාහ කළද ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කර ඇතැයි ද අනාවරණය වී ඇත. සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT