රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මහවැලි අධිකාරියේ ‘මහවැලි පුනරුද සතිය’ අද සිට ඇරඹේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන ප්‍රජා සංවර්ධනය අරමුණු කරගෙන පිහිටවූවකි. ඒ, 1979 වර්ෂයේදීය. මේ යටතට සංවර්ධන කලාප 10ක් ඇතුළත්වේ. මීට හෙක්ටයාර් දහහත්ලක්ෂයක් පමණ අයිතිය. ඉන් හෙක්ටයාර් හයලක්ෂයක් පමණ සංවර්ධනය කෙරේ. ඉතිරිය වන සංරක්ෂණ, වනජීවී කලාප ආදිය අයත් වේ. මිලියන 1.2ක ජනගහනයක් මහවැලි කලාපවල වෙසෙති. ඉකුත් සතියේදී මහවැලි H කලාපයෙන් මේ වැඩසටහන ඇරඹුණි. සෙසු කලාපවලටත් ඉදිරියේදී මහවැලි පුනරුද සතිය වශයෙන් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීම සිදු වේ. කෙසේ වෙතත් මෙය සතියකින් නිමාවට පත් නොවේ. මේ ජවසම්පන්න ඇරඹුමත් සමඟ අතිශයින් කාර්යක්ෂම හා දීපව්‍යාප්තව මේ වැඩපිළිවෙළ ඉදිරියට සිදු වේ.
ඒ අනුව ප්‍රජා සංවර්ධනය යටතේ විවිධ ව්‍යාපෘති, වැඩසටහන් සංවිධානය වීම සිදුවෙයි. කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර, ක්‍රීඩා, සංස්කෘතික, වාරි පද්ධති පිළිසකර කිරීම්, මාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි සංවිධාන පිහිටුවීම, ඒවායේ අරමුදල් තර කෙරෙන ව්‍යාපෘති දියත් කිරීම ආදියෙන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරෙන ව්‍යාපෘති, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කිරීම ආදිය සාමාන්‍යයෙන් මහවැලි අධිකාරිය මඟින් ඉටු කෙරේ. මේ වැඩකටයුතු ඉතා කාර්යක්ෂමව සපයා දීමේ ඇරඹුම මහවැලි පුනරුද සතියෙන් සිදු කිරීමට නියමිතය. ඒ අතරට ගුණාත්මක බීජ නිෂ්පාදන හා ඒවා නොමිලයේ ගොවීන් අතර බෙදා දීමද සිදු කෙරේ. මේ කටයුතු වෙනුවෙන් රජයෙන් ප්‍රතිපාදන ලබා ගනීමක් සිදු නොවේ. පවතින ප්‍රතිපාදන යොදාගෙන කඩිනමින් ඉදිරියට යෑමේ කටයුතු සිදු වන අතර මේ ඇරඹුම සතියකට හෝ එක් මහවැලි කලාපයකට ද පමණක් සීමා නොවන්නකි. ඉදිරියේදී සෙසු කලාපවලටත් ව්‍යාප්ත කෙරේ. මෙහිදී ප්‍රජා සහභාගිත්වය සුවිශේෂී කටයුත්තකි. ප්‍රධාන ජලාශ 20ක් සහ කුඩා ජලාශ 700ක් පමණ ඉක්ම වූ ගණනක් අප සතුව ඇත. ඒ අතරට වාරි ඇළ මාර්ග හා මහාමාර්ග පද්ධති 10000KM බැඟින් ද මහවැලි අධිකාරිය සතුව ඇත. විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීම හරහා විදේශ විනිමය උපයා දීමටත් මහවැලි පුනරුදය යටතේ සිදු කෙරෙන තවත් කාර්යයකි.
අනාගත සැලසුම්
මහවැලි අධිකාරිය විසින් සංචාරක මණ්ඩලයත් එක්ව ඉදිරි වැඩකටයුතු මේ වන විටත් අරඹා ඇත. මෙරට සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ප්‍රමාණයක් මහවැලි කලාප හා සම්බන්ධය. සුඛෝපභෝගී සංචාරක බංගලා රැසක්ම මහවැලි අධිකාරිය සතුව ඇත. සංචාරක බෝට්ටු සේවා හා සී ප්ලේන් ගොඩබැස්සවීමේ පහසුකම් මේ වන විටත් සැපයීමට සැලසුම් කර තිබේ. සංචාරක කර්මාන්තය හරහා මහවැලි ජනපදිකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට ඉඩ සලසා දීම එහි අරමුණයි. ‘හෝම් ස්ටේ’ විදේශිකයන් ඉතා ප්‍රිය කරන්නකි. දැනටමත් එහි මූලික කටයුතු මොරගහකන්ද ප්‍රදේශයෙන් ආරම්භ කර තිබේ. ගොවි සංවිධාන ආශ්‍රිතව ප්‍රාදේශීය සංවර්ධන බැංකු මඟින් හා දැනට පවතින ණය වැඩසටහන් මඟින් අඩු පොලී ණය පහසුකම් සලසා දීමට නියමිතව ඇත.
වාරි නිර්මිත අලුත්වැඩියාව, රොන් මඩ ඉවත් කිරීම් කටයුතු මහවැලි පුනරුද වැඩසටහන යටතේ කඩිනම්ව සිදු කෙරෙන්නකි. ප්‍රජා දායකත්වය නොඅඩුව ලැබෙන බැවින් මහවැලි අධිකාරියට බොහෝ වැඩ කටයුතු සිදු කළ හැකිය. තවද මහවැලි අධිකාරිය සතුව යන්ත්‍රෝපකරණ නොඅඩුව තිබේ. ගොවීන්ගේ සහාය මේ වැඩපිළිවෙළේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණක් වන අතර වගා කටයුතු ඇරඹීම වගේම ඒවා නැවතීම ආදී ඉල්ලීම් කරන විට ඊට ගොවීන්ගේ ඉක්මන් ප්‍රතිචාර අවශ්‍ය කරුණකි.
මහවැලි අධිකාරිය සතු සේවක මඬුල්ල 3900කි. ඉංජිනේරුවරුන්, කෘෂි විශේෂඥයන්, ඉඩම් නිලධාරීන්, සැලසුම් ශිල්පීන්, කාර්මික නිලධාරීන් ආදීහුන් ද ඊට අයත්ය.
මහවැලි අධිකාරියේ ඩ්‍රෝන, ආරක්ෂිත වගා ගෘහ ආදිය පිළිබඳ කෘෂිකර්මාන්තයේ නවීන අංග ආදී නවීන තාක්ෂණය පිළිබඳ දැනුමැත්තෝ සිටිති. එසේම ඉදිරියටත් නවීන තාක්ෂණය පැමිණෙන විටදී ඒ පිළිබඳ දැනුම හා පුහුණුව නිලධාරීන්ට බෙදා දීම සිදු කෙරේ. තවද ඩිජිටල්කරණ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මකය. ජංගම දුරකතන ආදී සරල උපාංග යොදාගෙන ඉතා පහසුවෙන් අදාළ කටයුතු සිදු කර ගැනීමට මඟපෙන්වීමක් ද සිදු කෙරේ.
දේශීය ඉංජිනේරු සහාය
මේ දිනවල ඉදිරි ව්‍යාපෘති පිළිබඳ මහවැලි අධිකාරිය විසින් සම්පූර්ණ අධ්‍යයනයක් කරමින් පවතියි. ගැටලු මතු වූ ඇතැම් ව්‍යාපෘති පිළිබඳ පිළියම් යොදමින් ඉදිරියේදී අරමුදල් ලැබෙන අයුරින් දේශීය ඉංජිනේරුවරුන් යොදවාගෙන ඊට යොමු කිරීමේ කටයුතු සිදු වේ. මෙමඟින් උතුරු, නැගෙනහිර ප්‍රදේශවලටත් සුවිශාල සංවර්ධනයක් සිදු වේ. එසේම ඉදිරියේදී මහවැලි අධිකාරිය වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහනටත් සම්බන්ධ වීමට අදහස් කෙරේ. එහිදී අරමුදල් ඇති ගොවි සංවිධානවලට ණය පහසුකම් සැපයීම එහි එක් පියවරකි. ඊට ගොවි සංවිධානවලින් දැනටමත් යහපත් ප්‍රතිචාර දක්නට ලැබේ.
මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට වෙන්කර තිබූ මුදල් ඉකුත් කාලයේදී ගොවීන්ට පොහොර බෙදා දීමේ වැඩසටහනට යොදා ගෙන තිබේ. මේ නිසා ඇතැම් වාරි ව්‍යාපෘති අඩපණ වී තිබේ. ඇතැම් ව්‍යාපෘතිවල කාලය අවසන් වෙමින් තිබුණ ද ඊට අලුත් ප්‍රවේශයක් ගත යුතුයි. දැනට සිදු කෙරෙන පරිපූර්ණ අධ්‍යයනයෙන් පසුව ඒ පිළිබඳ වැඩිදුරටත් විස්තර දැක්විය හැකියි. ඒ කෙසේ වෙතත් මහජන මුදලින් මෙතෙක් ඒවායේ කළ කොටස හොඳ තත්ත්වයේ පවතියි.
මහවැලි අධිකාරියෙන් විදුලි උත්පාදනය කුඩා විදුලි බලාගාර ජලාශ ආශ්‍රිතව කලෙක සිටම සිදු කෙරේ. ඊට අමතරව මොරගහකන්ද ජලාශය ආශ්‍රිතවත් අලුතෙන් විදුලි උත්පාදන කටයුතු මේ වන විට අරඹා ඇත. එසේම, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා මහවැලි ඉඩම් දීමටත් කටයුතු කෙරේ. පාවෙන සූර්ය බලපද්ධති සවි කිරීමට ඉඩ පහසුකම් සලසා ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙහිදී අපට උපදෙස්, තාක්ෂණික සහාය දීමට ඉදිරිපත් වී සිටියි. ඉදිරි වසර තුළදී පුනර්ජනනීය බලශක්තියෙන් මහවැලි අධිකාරියට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීම අපේ ඉලක්කයයි.
පශු සම්පතින් කිරි, බිත්තර, මස් නිෂ්පාදනය සිදු කෙරේ. එසේම, මිරිදිය ධීවර කර්මාන්තය පුළුල් කිරීමටත් කටයුතු කිරීමට නියමිතව ඇත. ගව ගාල් සකස් කර දීම, තෘණ භූමි අලුතින් ඇති කිරීම, සත්ත්ව ආහාර සුලබ කිරීම සහ අඩු වියදමට ගොවීන්ට ඒවා දීම, සතුන්ට වැලඳෙන රෝග පාලනය කිරීම ආදිය ද ඊට ඇතුළත්ය. ඉදිරියේදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා තිබේ. මහවැලි ගොවිපොළ නිෂ්පාදන මහවැලි නිෂ්පාදන වශයෙන් දැනටත් වෙළෙඳපොළට නිකුත් කෙරේ. කිරි, බිත්තර, යෝගට් ආදිය පෞද්ගලික හවුල්කාරිත්වයකුත් ඇතිව ඒවා පුළුල් කිරීමට කටයුතු සූදානම්ය. මේ ඇතුළු සියලු කෘෂි නිෂ්පාදන සතොස අලෙවිසල් හරහා අලෙවි කර ගැනීමට ඉදිරියේදී තවදුරටත් පහසුකම් පුළුල් කිරීමට නියමිතව ඇත. කාබනික නිෂ්පාදන තවදුරටත් පුළුල් කරන අතර අදාළ නිශ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කර ඇත.
වන අලි ගැටලුවට විසඳුම
ගෙවිලියන්ට පවුලේ ආදායම් වැඩි කර ගැනීමට හැකි අයුරින් මැහුම් ගෙතුම්, ආහාර නිෂ්පාදන, හස්ත කර්මාන්ත ආදී පුහුණු වැඩසටහන් හරහා ස්වයං රැකියා ඇරඹීමට අවශ්‍ය පහසුකම් සපයා දීම හරහා පවුලේ ආර්ථිකයට සවිමත් කිරීම අපේක්ෂාවකි.
වන අලි ගැටලුවට ගොවීන්ගේ සහභාගිත්වයෙන් වැඩපිළිවෙළක් මේ වනවිටත් සිදු කෙරේ. අලි වැට නිර්මාණය කර ගැනීමට අවශ්‍ය උපකරණ මහවැලි අධිකාරියෙන් නොමිලයේ සැපයේ. ‘ගම වටා අලි වැටක්’ වැඩසටහන ඒ වෙනුවෙන් ඇති කළ එකකි. මීට පෙර කැලෑව වටේ අලි වැටක් තිබුණි. ඒත් එය නිවැරදි ආකාරය නඩත්තු නොවීමෙන් නොයෙක් ගැටලු මතුවිය. නමුත් දැන් ගම වටා අලි වැටක් ඇති කිරීමට අදහස් කොට ඇත. මෙය පෙරට වඩා කළමනාකරණය කිරීම මෙන්ම නඩත්තුව ද පහසුය.
අලුත් පරපුර කෘෂිකාර්මික ඉඩම් අපේක්ෂාවෙන් සිටිති. එහිදී ඊට පැවැති නීතිමය බාධා නව රජයෙන් ඉවත් කර දී ඇත. වන සංරක්ෂණ, වනජීවි කලාපවලට අයත්ව තිබූ ඉඩම් පිළිබඳ පැවති ගැටලු, දැන් එකම අමාත්‍යංශයක් යටතට ගෙන ඇත. එය කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග වශයෙන් තිබීම රාජකාරී කටයුතුවලදී ද මහත් වූ පහසුවකි. රජය අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි පලදාවක් ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. අලුත් පරපුර ඊට දක්වන උනන්දුව හා නැඹුරුව වඩාත් ප්‍රගතිශීලීය.
නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූපය-ශාන් රඹුක්වැල්ල