දරුවාට කුඩා කාලයේ බලපෑ හැකි නොයෙකුත් අසනීප තත්ත්ව පිළිබඳ අප නිරන්තර අවධානය යොමු කරමින් කටයුතු කිරීමට උත්සුක වෙමු. විශේෂයෙන් දරුවාට නිතරම සෑදෙන උණ හා උණත් සමඟ ඇති වන අනිකුත් ගැටලු පිළිබඳ ද එවැනිම අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
උණ යනු රෝගයක ලක්ෂණයක් බව දැන් අප බොහෝ දෙනකුට අවබෝධයක් තිබිය හැකිය. අපට බලපෑ හැකි රෝග ගණනාවක යම් රෝග ලක්ෂණයක් ලෙස ද උණ ඇතිවේ.
ඒ අතරවාරයේ ඇතිවන තවත් ගැටලුවක් වන්නේ උණත් සමඟ ඇතිවන උණ වලිප්පු තත්ත්වයයි. විශේෂයෙන් කුඩා දරුවාට උණත් සමඟ ඇතිවන උණ වලිප්පු තත්ත්වය බොහෝ මවුපියන් භීතියට පත් කරයි.
මොකක්ද මේ උණ වලිප්පුව ?
උණකදි මවුපියන් බියට පත්වන එක් අවස්ථාවක් වන්නේ උණ නිසා දරුවාට හටගත හැකි වලිප්පුව තත්ත්වයයි. ඒ බිය යම් පමණකට සාධාරණ ය. හේතුව යම් දරුවකුට එසේ විය හැකි ඉතා සුළු ප්‍රතිශතයක් සහිතවීමය. උණත් සමඟ දරුවාට ඇතිවිය හැකි උණ වලිප්පුව තත්ත්වය යම් දරුවකුට උණත් සමඟ බලපෑ හැකිය. නමුත් උණත් සමග එන උණ වලිප්පුව තත්ත්වයක් සෑම දරුවකුටම එක සේ බල නොපායි. සමහර අවස්ථාවක ඊට යම් ජානමය බලපෑමක් ද තිබිය හැකිය.
බොහෝවිට මේ අප කතා කරන වලිප්පු තත්ත්වය බොහෝවිට අවුරුදු හයට අඩු දරුවන්ට බලපෑ හැකි තත්ත්වයකි. තවදුරටත් පැහැදිලි කර ගන්නේ නම් මාස හයේ පමණ සිට අවුරුදු හය පමණ වන තෙක් දරුවන්ට බලපෑ හැකි තත්ත්වයකි. බොහෝවිට උණ හටගෙන මුල් දවසේදී වාගේ මේ තත්ත්වය ට පත්විය හැකිය.
සිහි නැති වීම, අත් පා පණ නැතිවීමක්, දරදඬු වීමක් කටින් සෙම පිටවීමක්, මූත්‍ර හෝ මල ඉබේ පහවීමක්, දත කට පූට්ටුවීමක් ආදි ලක්ෂණ දරුවාගෙන් දිස් විය හැකිය. එසේම මේ තත්වය විනාඩි පහක්, දහයක් වැනි කාලයක් තුළ හටගෙන පහව යනු ද දැකිය හැකිවේ. වැදගත්ම දේ වනුයේ මෙබඳු අවස්ථාවකදී අවබෝධයෙන් කුමක් කළ යුතු ද යන්න වටහා ගැනීම හා ක්රියාකිරීමයි.
මොකක්ද කරන්න ඕනෑ ?
පළමුකොට දරුවා පැතැලි පෘෂ්ඨයක වම්පස ඇලයට තබා ගැනීම ඉතා වැදගත් වේ. ඒ අවස්ථාවේදී දරුවා විනාඩි පහක් පමණ කාලයකින් අනතුරුව ද මේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී නම් හැකි ඉක්මනින් දරුවා ළඟම ඇති රෝහලට ගෙන යෑම වැදගත් වේ. දරුවා එලෙස රැගෙන යා යුත්තේ ද පෙර ආකාරයටම දරුවා වම්පස ඇලයට තබා ගෙනය. එහිදී දරුවා වෛද්‍ය අධීක්ෂණය යටතේ අදාළ ප්‍රතිකර්ම සඳහා යොමු කෙරෙනු ඇත.
මවුවරු මොකද කරන්නේ?
මෙබඳු අවස්ථාවල දරුවා තෙමීම, යකඩ අතට දීම,කටට ඇඟිලි දැමීම, පිටට ගැසීම, දරුවා ඔසොවාගෙන එහා මෙහා දිවයෑමට උත්සාහ කිරීම වැනි දේ කිරීමට උත්සුක වේ. නමුත් මේවා නොකළ යුතු ය. එසේම මේ තත්ත්වය සමනය කිරීම වෙනුවෙන් කිසිදු ඖෂධයක් මේ අවස්ථාවේ ආදී ලබා නොදිය යුතුය.
නැවත නැවතත් මේ තත්ත්වය බලපෑ හැකිද ?
සාමාන්‍යයෙන් මේ අප අවධානයට ලක් කළ වලිප්පු තත්ත්වය බැරෑරුම් තත්ත්වයක් සේ නොසලකයි. එසේ වුවද යම් අවස්ථාවක දරුවා කුඩා අවධියේ යම් කාලයක් තුළ නැවත නැවත ඇතිවිය හැකිය .
දරුවාගේ අනාගතයට බලපායි ද ?
මේ කතා කළ වලිප්පු තත්ත්වයෙන් දරුවාගේ අනාගතයට කිසිදු බැරෑරුම් බලපෑමක් ඇති නොවේ. එය දරුවාගේ අනාගත බුද්ධි වර්ධනයට හෝ අන් ගැටලුවක් සඳහා ද බලපෑමක් ඇති නොකරයි.
සැලකිලිමත් විය යුතු දේවල්
දරුවාට උණ සමඟ ඇති විය හැකි මේ තත්ත්වය නිසියාකාරව අවබෝධයෙන් දරුවා රැක බලාගැනීම ප්‍රධාන ය. තවද ඉහත අවධානයට ගත් කල යුතු දෑ හා නොකළ යුතු දෑ පිළිබඳ දැනුම්වත්ව කටයුතු කිරීම මේ තත්ත්වයේදී වැදගත්ම කාරණා වේ.
උපදෙස් – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය හසිත ලියනආරච්චි
සමුද්‍රිකා වර්ණකුල