වසර 2022දී ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවන ලද ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ප්‍රංශ රජයේ අවධානය යොමු වී තිබේ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ප්‍රංශ තානාපතිනි මාරි නොයෙල් ඩුරිස් මහත්මිය අතර පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.
ඒ අනුව ප්‍රංශ සංවර්ධන ඒජන්සියේ (AFD) සහාය ඇතිව ගාල්ල, කුඩාවැල්ල, බේරුවල සහ පුරාණවැල්ල ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
මේ සංවර්ධන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡා 2017දී ආරම්භ වූ අතර, සම්පූර්ණ කළ ශක්‍යතා අධ්‍යයන 2019දී භාර දී තිබේ. 2020දී මූල්‍ය ආධාරයක් යටතේ පාරිසරික හා සමාජ බලපෑම් අධ්‍යයනයක් AFD පැවැත්වීමට ද එකඟවී ඇත. මේ ව්‍යාපෘතිය 2021දී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් අනුමත කර තිබෙන අතර, එම සැලසුම් 2021 – 2026 දක්වා පස් වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත. කෙසේ වෙතත් 2022දී ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එය අත්හිටුවන ලදි.
මේ කරුණු ද අවධාරණය කරමින් ධීවර යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශීය ධීවර ප්‍රජාවන්ට වඩා හොඳින් සහායවීම සඳහා මේ මුලපිරීම නැවත පණ ගැන්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
උතුරු හා නැඟෙනහිර කලාපවල ධීවර වරායන් ප්‍රතිසංස්කරණය කිරීම, පර්යේෂකයන් සඳහා දැනුම හුවමාරු වැඩසටහනක් ස්ථාපිත කිරීම සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනය (NARA) සමඟ විශේෂයෙන් තල්මසුන් සහ මුහුදු ක්ෂීරපායින් සම්බන්ධ පර්යේෂණවලට සහාය දීමත් සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය. මෙරට ධීවර අංශ නවීකරණය කිරීමට සහ එය රටේ වර්ධනය වන සංචාරක කර්මාන්තය සමඟ ඒකබද්ධ කිරීමට සහාය වන බව ප්‍රංශ තානාපතිනිය මෙහිදී අවධාරණය කළාය.මේ හමුවට ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන