Tuesday, May 6, 2025
Home » වයඹ ඇළ ව්‍යාපෘතියෙන් බෝගස්යාය ජනතාවගේ ජනජීවිතය අඩාළ වෙලා

වයඹ ඇළ ව්‍යාපෘතියෙන් බෝගස්යාය ජනතාවගේ ජනජීවිතය අඩාළ වෙලා

-විකල්ප මාර්ගයක් ඉදිකළත් පයින්වත් යන්න බෑ

by sachintha
January 27, 2025 2:08 am 0 comment

මාතලේ, වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යෑම සඳහා ඉදි වෙමින් පවතින වයඹ ඇළ ව්‍යාපෘතිය හේතුවෙන් ගලේවෙල පහළ බම්බාව, බෝ ගස්යාය ගම්මානයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.

මෙම පහළ බම්බාව, බෝගස්යාය ගම්මානයට පිවිසුම් මාර්ගය හරහා වයඹ ඇළ ඉදිකිරීම හේතුවෙන් වසර හතරකට පෙර සිට මෙම ගම්මානයට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් මහවැලි අධිකාරිය මඟින් ඉදිකර දුන්නද මාර්ගයේ මේ වනවිට වාහනයකට හෝ පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

මෙම හේතුවෙන් ගම්මානයේ ජීවත්වන පවුල් 37ක පමණ ජනතාවගේ දරුවන්ගේ පාසල් ගමනට සහ අනෙකුත් සියලු ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන අතර ගම්මානයේ වසර හතරක සිට අඩුම තරමේ ආවාහ විවාහයක් හෝ සිදුවන්නේ නැති බව ද පෙන්වා දෙති.

මෙම ප්‍රදේශයෙන් භූගතව වයඹ ඇළ ගමන් කරන බවත් ඉඩම් යටින් භූගතව ඇළ මාර්ග දෙකක් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ නිවාස ඉරිතළා යන බව ද ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම මෙසේ නඩත්තු කටයුත්තක් නොකිරීම නිසා ඇළ මාර්ගය දෙපස මාර්ග ගිලා බැස ජලය බැස නොයන නිසා ජලයෙන් නිවාස යටවෙන බව ද ඔවුහු පෙන්වා දෙති

තමන්ගේ කුඹුරට මෙන්ම පාසලට ගමන් කිරීමට මීටර් සියයක් පා ගමනින් ගමන් කිරීමට තිබුණ ද ඒ සඳහා ත්‍රිරෝද රථයකින් රුපියල් 600ක මුදලක් ගෙවා යුතුව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව වසර ගණනාවක සිට සෑම රජයකටම බලධාරියකුටම දැනුම්වත් කළ බවත් මීට පෙර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සමඟ ප්‍රදේශයේ අරගල රැසක් සිදුකරමින් ජනමාධ්‍ය හරහා ඒ පිළිබඳ බලධාරීන්ට දැනුම්වත් කළ බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

එහෙත් මේ වනවිට නාමල් කරුණාරත්න මහතා නියෝජනය කරන පිරිස ආණ්ඩු බලය පැවතිය ද එම කණ්ඩායම් ද ජනතාව අසරණ වී මුදා ගැනීමට ඉදිරිපත් නොවන බවට ඔවුහු චෝදනා කරන්නට වූහ.

මෙම ස්ථානයේ සිට ගලේවෙල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයට විකල්ප මාර්ගයක් ඉදිකර දෙන බව පවසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වයඹ ඇළ ව්‍යාපෘතිය මඟින් ඉඩකඩම් අත්පත් කරගත් බව ද එහෙත් එම මාර්ගය හෝ අඩුම තරමේ ගමට පිවිසෙන මාර්ගය පිළිසකර නොකිරීම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවට ද චෝදනා කරති.

මේ පිළිබඳව වයඹ ඇළ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දික කුමාර මහතාගෙන් දුරකතනය හරහා විමසීමේදී කියා සිටියේ මෙම ප්‍රශ්නය හඳුනාගෙන තිබෙන බවත් කඩිනමින් ඊට විසඳුම් ලබා දෙන බවත්ය. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මීට පෙර සිටම වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉහළ නිලධාරීන් වසර හතරක් තිස්සේ මෙවැනිම ප්‍රකාශ සිදුකළ බවයි.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT