Home » උඩරට මැණිකේ දුම්රිය ටිකට්පත් 2ක් විදේශිකයන්ට රු. 27,000කට විකුණලා

උඩරට මැණිකේ දුම්රිය ටිකට්පත් 2ක් විදේශිකයන්ට රු. 27,000කට විකුණලා

by sachintha
January 27, 2025 3:43 am 0 comment

අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගන්නා ලද උඩරට මැණිකේ දුම්රියේ මහනුවර සිට ඇල්ල දක්වා වූ රුපියල් 5500ක වටිනාකමින් යුත් තුන්වන පන්තියේ ටිකට්පත් දෙකක් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 27000ක මුදලකට අලෙවි කිරීමට ගිය පුද්ගලයකු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එංගලන්ත ජාතික කාන්තාවන් දෙදෙනාට පේරාදෙණිය දුම්රිය ස්ථානයේ දී අදාළ ටිකට්පත් අලෙවි කර මුදල් ලබා ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එක් කාන්තාවක් මහනුවර සිට ඇල්ල දක්වා රුපියල් 2500ක වටිනාකමින් යුත් ටිකට්පතක් ද අනෙක් කාන්තාව මහනුවර සිට බදුල්ල දක්වා රුපියල් 3000ක වටිනාකමින් යුත් ටිකට්පතක් ද මෙලෙස රුපියල් 27000ක මුදලකට මිලට ගෙන තිබේ.

අදාළ ටිකට්පත් දෙසැම්බර් මස 27 දින අන්තර්ජාලයට මුදාහැර තත්පර 40ක් තුළ මහනුවර මාවිල්මඩ හා නුවරඑළිය ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකුගේ හැඳුනුම්පත් අංකවලට වෙන්කර ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම ටිකට්පත් ජාවාරමට මහනුවර දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ද සිටින බවට ලද තොරතුරු මත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

පේරාදෙණිය දුම්රිය ස්ථානයේ දී උඩරට මැණිකේ දුම්රිය එහි පැමිණීමට පැයකට පෙර අදාළ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ බුද්ධි අංශ නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනා සතුව තිබූ දුම්රිය ටිකට්පත් ඔවුන්ගේ භාරයට ගෙන ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් රුපියල් 3000 හා 2500ක මුදලකට අලෙවි කරන ටිකට්පත් සැකකරු ඔවුන්ට අධික මුදලකට විකුණා තිබෙන බව පැහැදිලි කර දීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැඩි සේ ස්තූතිය පළ කර තිබේ.

පොලීසිය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා සාකච්ඡා කර ටිකට්පත් දෙකට අදාළ ආසන දෙක විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනාට ඇල්ල හා බදුල්ල බලා යෑමට ලබා දී ඇත. කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සංචාරක නියෝජිත ආයතනයක හිමිකරුවෙකුගේ ගෝලයෙකු බවත් එම හිමිකරු විසින් මෙම ටිකට්පත් අලෙවි කිරීම සඳහා සැකකරුට ලබා දී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව තිබේ.

ටිකට්පතක් අලෙවි කිරීම වෙනුවෙන් ඔහුට රුපියල් 2000ක මුදලක් ලැබෙන බව සැකකරු පොලීසියට පවසා ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT